Jan 05, 2022

"මැණික් ගැරුවනම් අද කෝටිපතියෙක්"

තමන් රඟපෑ පළමුවැනි නාට්‍යයෙන්ම තරුවක් වෙන්න පුළුවන් නම් ඒක ලෙහෙසි පහසු කාරණයක් නෙවේ. ඒ වගේම තමන්ගේ ප්‍රථම නාට්‍යයේම ප්‍රධාන චරිතයක් ලැබෙනවා කියන්නෙත් ලොකු වාසනාවක්. ඒ කරුණු කාරණා දෙකම ඉෂ්ට කරගත්තු ‘ඉස්කෝලේ’ ටෙලි නාට්‍යයේ රන්දිකත් එක්ක අපි අලුත් අවුරුද්දේ ඉස්සෙල්ලාම කතා කරන්න තීරණය කළා. බොහොම සතුටින් වගේම සැහැල්ලුවෙන් ඉන්න ධනුෂ්ක සම්පත් කතාව පටන් ගත්තා.

ප්‍රථම නාට්‍යයෙන්ම ජනප්‍රිය වුණා වගේම ප්‍රථම නාට්‍යයේම ප්‍රධාන චරිතයක් ලැබුණා. ඒ වගේම 2022 වර්ෂයට ඔයාලගේ කවරය සරසන්නත් වාසනාව ලැබුණා. ඇත්තටම ගොඩක් සතුටුයි.

ධනුෂ්ක ඒ ආකාරයට කතාව පටන් ගන්නකොට ඔහුගේ ළමා කාලයට ගියොත් හොඳයි කියලා මට හිතුණා.

රත්නපුර, ලෙල්ලොපිටිය කියන ගමේ තමයි මම ඉපදෙන්නේ. ජෝ අබේවික්‍රම වැනි ජ්‍යෙෂ්ඨයන් බිහි කරපු ගමකින් කලාවට එන්න ලැබීමත් වාසනාවක්. අධ්‍යාපනය ලබන්න ගියේ රාහුලේට. හරිම සුන්දර කාලයක්…

පාසල් අවධිය මතක් කරනකොටත් ධනුෂ්කගේ මුවඟේ ඇඳෙන්නේ සිනාවක්. බොහෝ රසවත් දේවල් ඒ සිනාව ඇතුළේ හැංගිලා ඇති කියලා මට සිතුණා…

ඉස්කෝලේ යන කාලේ ක්‍රීඩාවලට තමයි මූලිකත්වය දුන්නේ. රඟපාන්නත් කැමැත්තක් තිබුණා. පාසල් වේදිකාවේ නාට්‍ය කීපයකත් රඟපෑවා. වොලිබෝල්, ක්‍රිකට්, මලල ක්‍රීඩාවලින් සමස්ත ලංකා ජයග්‍රහණ පවා හිමිකර ගත්තා. ඉගෙන ගන්න කටයුතුත් ඉතා හොඳට කළත් නහයට අහන්නේ නැති චරිතයක් හැටියට තමයි ප්‍රසිද්ධ වෙලා උන්නේ. ඉස්කෝලේ රණ්ඩුවක් වුණා නම් හැමදාම මමත් එතැන උන්නා. ගමේ ඉස්කෝලේ නිසා ඉහළ පන්තියක කෙනෙක්ටවත් බය නැහැ. මොකද අපිට ඉස්කෝලෙන් ගැහුවොත් අපි ගමේ කට්ටිය දාලා හරි ගස්සනවා. ඔය වගේ දසවක් ඉස්කෝලේ උසස් පෙළ කරලා අයින් වෙච්ච සෙට් එකක් ඉස්කෝලෙට ආවා. අපිත් වලියක් දාගෙන එයාලට ගැහුවා. අවසානයේ ප්‍රින්සිපල් ළඟට ගිහින් තමයි ප්‍රශ්නය ඉවර වුණේ. කොහොම හරි මට ගෙදරිනුත් දඬුවම් ලැබුණා. කොච්චර දඬුවම් ලැබුණත් ඒ කාලේ මතක් වෙනකොට මාර සතුටක් දැනෙන්නේ.

ඉස්කෝලේ ඇතුළේ දඩබ්බරකම් කරපු මේ හිතුවක්කාරයාට ගැහැනු ළමයිගෙන් ලොකු ආකර්ෂණයක් තිබිලා තියෙනවා…

ගෑනු ළමයි නම් ගොඩක් උන්නා. කාලෙන් කාලෙට විවිධ සම්බන්ධතා ගොඩනැගුණා. නමුත් ඒ සම්බන්ධතා, බැඳීම් පාසල් කාලයට විතරක් සීමා වුණා. ඉස්කෝලෙන් අයින් වෙනකොට ඒ හැම දෙයක්ම මතකයක් කරලා තමයි එළියට බැස්සේ. නමුත් තාමත් ඒවා හිතේ පැළපදියම් වෙලා ලස්සන හීන වගේ මතකයේ රැඳිලා තියෙනවා.

ඉස්කෝලෙන් එළියට ආවම රංගනයට යන්න තරම් සම්බන්ධතා ධනුෂ්ක ළඟ තිබුණේ නැහැ. ඔහුගේ ජීවිතය ආලෝකමත් කරගන්න බැස්සේ අඩි සිය ගණන් ගැඹුරු පතල්වලට.

අපේ පවුලේ අම්මයි, තාත්තයි, මමයි, මල්ලිලා දෙන්නයි, නංගියි. තාත්තට ලොකු වඩු මඩුවක් තිබුණා. ඒකට සම්බන්ධ වෙන්න මට ඕන වුණේ නැහැ. මමත්, මල්ලිලා වගේ පතල් පැත්තට බැස්සා. ඔය වෙනකොට මල්ලිලා දෙන්නා පතල් පැත්තෙන් ගොඩක් ඉස්සරහට ගිහින්. එතැනදී මම එයාලා දෙන්නට මල්ලි කෙනෙක් වගෙයි වුණේ.

පතල් කර්මාන්තය කියන්නේ ලෙහෙසි පහසු කටයුත්තක් නෙවේ. කට්ටිය දම්මලා මැණික් ගරනකොට බොහොම කල්පනාවෙන් ඉන්න ඕන. නැත්නම් මැණික් අතුරුදන් වෙනවා. මේ නිසා හොඳ කල්පනාවෙන් ඉන්න ඕන. අඩි පනහා සීය යට දෝනාවලට බහින්න ඕන. ලොකු අවදානමක් තියෙනවා. දෝනාවල මැණික් ගරනවාට වඩා ගඟේ මැණික් ගරනකොට තමයි අමාරු. මොකද පායන කාලෙක වුණත් උඩහ පැතිවල වහිනවා නම් වතුර වැඩිවෙන්න පුළුවන්. බොහොම කල්පනාවෙන් ඉන්න ඕන. ඔය විදිහට අවුරුදු ගාණක් මමත් පතල්වල ජීවිතය ගෙව්වා.

මැණික්වල දිස්නය හෙව්වත් දෛවය තල්ලු කරන තැනට යන්න වෙනවා කියන කාරණාව ස්ථිර කරමින් ධනුෂ්කට කොළඹ එන්න වෙනවා…

ගමේ අයියා කෙනෙක් එයාගේ ගීතයක විෂුවල් එකක් කරන්න යන්න මටත් කතා කළා. කලාවට තිබුණ කැමැත්ත නිසාම මමත් ගියා. හැබැයි ඒ වීඩියෝ එකේ මටත් දශමයක විතර කෑල්ලක රඟපාන්න අවස්ථාව ලැබුණේ. මටවත් මාව හඳුනා ගන්න බැරි තරමට ඒ චරිතය පුංචි වුණත් මගේ ජීවිතේට ඒක ලොකු අවස්ථාවක් වුණා. දැන් මට රඟපාන උණ හැදීගෙන එනවා. චාන්ස් හොයාගෙන මමත් කොළඹ එනවා. සමහර දවස්වලට යන්න එන්න වියදම් වුණාම ගෙදර යන්නේ හිස් පර්ස් එක අරගෙන. මට මාර දුකයි. මල්ලිලා දෙන්නා මාර තැනක ඉන්නේ… නෑදෑයෝ මැණික් ගරලා ලොකු සල්ලිකාරයෝ වෙලා. නමුත් මම කට්ට කකා ජීවිතේ හොයනවා. හැබැයි කොයි මොහොතකවත් මේ දේවල් අත්හරින්න හිතුණේ නැහැ.

මැණිකක් වගේ බබළන සල්ලි පිරුණු ජීවිතයකට වඩා ධනුෂ්ක ආසා කළේ තරුවක් වගේ අහසේ පායන්න. මුළු ලෝකෙම බලන තාරකාවක් වෙන්න. ඒ වෙනුවෙන් ඔහු ලොකු කට්ටක් කෑවා. බොරුකාරයන්ටත් අහුවුණා..

සමහරු චරිත දෙන්නම් කියලා අපිව කඩේ අරිනවා. බොරුවට ගෙන්නලා ලොකු කතා කියනවා. පස්සේ අපිට ආරංචි වෙනවා ඒ නාට්‍යය වෙන අයව දාලා කරනවා කියලා. ඒ වෙලාවට ලොකු දුකක් හිතට දැනෙනවා. නමුත් මොන කට්ටක් කාලා හරි රඟපානවා කියන අධිෂ්ඨානය හිතේ තිබුණා. මම දන්නවා රත්නපුරේ ගිහින් මැණික් ගැරුවොත් මීට වඩා සල්ලි හොයන්න පුළුවන් කියලා. මගෙයි, මල්ලිලාගෙයි වෙනස අහස පොළොව වගේ වුණත් මගේ හිත කිව්වේ මට තියෙන්නේ වෙනස් ගමනක් කියලා. රත්නපුරේ හොඳ මැණික් මුදලාලි කෙනෙක් වෙනවට වඩා ලංකාවේ නළුවෙක් වෙන්න ඕන කියන හීනය මගේ ඉස්සරහා තිබුණා…

ඒ හීනය සැබෑවක් වන දිනය ළංවුණේ ධනුෂ්කගේ මහන්සිය නිසාමයි…

ඒ වෙද්දි පොඩි පොඩි කෑලි රඟපාලා මියුසික් වීඩියෝවල ප්‍රධාන චරිතයක් මවන මට්ටමට ළංවෙන්න පුළුවන් වුණා. ඔය අතරේ සුරංග කියලා අයියා කෙනෙක් මට කතා කළා ‘ඉස්කෝලේ’ කියන නාට්‍යයේ රඟපාන්න කට්ටිය හොයනවා කියලා. මුලින්ම ෆොටෝ එකක් එවන්න කියලා. ඊට පස්සේ තමා මුලින්ම ඉන්ටර්විව් එකට ගියේ.

මට හිතාගන්න බැහැ දෙරණේ ඉන්ටවිව් එකකට මට කතා කරනකොට. මොකද ඔය වෙනකොට අපි ‘දෙවැනි ඉනිම’ හරිම කැමැත්තෙන් බලන්නේ. රංගනය ගැන කිසිම හැදෑරීමක් නොකරපු මට මේ වගේ අවස්ථාවක් මෙච්චර ඉක්මනට ලැබෙයි කියලා නම් හිතුවෙ නැහැ. කොහොම හරි මට ඒ අවස්ථාව ලැබුණා.

ඉස්කෝලේ නාට්‍යයේ මුලින්ම රඟපාපු කොටස හීනයක් වගේ ධනුෂ්කගේ හිතේ තැන්පත් වෙලා තියෙනවා…

මුලින්ම සෙට් එකට යනකොට එතැන උන්න කිසිම කෙනෙක්ව මම අඳුනන්නේ නැහැ. මොකද ටෙලි නාට්‍යවලට මම ආගන්තුකයෙක්. පැත්තකට වෙලා ඉන්නවා හැරෙන්න වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ. මට මුලින්ම රඟපාන්න තිබුණේ පොඩි ළමයි දෙන්නෙක්ගෙන් වැඩ අරගෙන රුපියල් 500ක් දෙන චරිතය. විහාරා ටීචර් මට ඇවිත් බණිනවා. හිතේ චකිතයක් තියාගෙන මම ඒ චරිතය කළා. හැබැයි රඟපාපු කොටස ටීවී එකෙන් බලනකොට මීට වඩා හොඳට කරන්න පුළුවන් කියලා හිතුණා. නමුත් ඉතා ඉක්මනින් සාමාන්‍ය තත්ත්වයට ඇවිත් හොඳ රඟපෑමක් ඉදිරිපත් කරන්න පුළුවන් වුණා. මොකද මම ආධුනික වුණාට අනිත් හැමෝම ඇවිත් මාත් එක්ක කතා කරලා ලොකු සහයෝගයක් ලබාදුන්නා. ඒකත් මට ලොකු හයියක් වුණා.

ඉතා කෙටි කාලයක් ඇතුළත මැණිකක් වගේ මුළු ලංකාවම පුරා බබළන්න ධනුෂ්කට හැකියාව ලැබුණා…

නාට්‍ය වැඩවලට කාර්යබහුල වෙනකොට කොළඹ නවතින්න සිද්ධ වුණා. දැන් නම් මාසයකට සැරයක් වගේ විතර තමයි රත්නපුරේ යන්නේ. ඒ ගියත් ගෙදරට කට්ටිය හොයාගෙන එනවා. කොටින්ම මට කියලා පෞද්ගලික ජීවිතයක් නැති තරමට ප්‍රේක්ෂක ආදරය ලැබෙනවා. සමහර වෙලාවට ඒක මානසික කරදරයක් වගේ දැනුණත් මම හොයාගෙන ගිය ඉලක්කය නේද මේ කියලා හිතෙනවා.

මැණික් ගරනවාට වඩා රඟපාන එක අමාරුයි කියලා දැන් නම් ඔහුට හිතිලා තියෙන්නේ…

රඟපාන එක ලෙහෙසි පහසු කටයුත්තක් නෙවේ. සමහර වෙලාවට අව්වේ රඟපානකොට ලයිට් වදිනකොට පිච්චෙනවා. ඒ වගේම මේ ළඟදී තිබුණා දිලීපත් එක්ක ගහගන්න සීන් එකක්. ඒ වෙලාවේ මගේ පාරක් වැදිලා දිලීපගේ අත තුවාල වුණා. ඒ වෙලාවෙ නම් මට මාර අවුල්. නමුත් රංගනයේදී අපිට ඒ දේවල්වලට මුහුණ දෙන්න වෙනවා කියන එක මට හොඳට තේරෙනවා.

ඉස්කෝලේ යන කාලේ ගැහැනු ළමයින්ගේ තිබුණ ආකර්ෂණය ආයෙමත් ධනුෂ්කගේ ජීවිතයට වැටිලා තියෙනවා…

ඒ ගැන නම් ඉතින් කතා කරලා වැඩක් නැහැ. ලොකු ප්‍රේක්ෂක ආදරයක් හා කැමැත්තක් තියෙනවා. නමුත් ඉස්සර වගේ සෙල්ලක්කාරයෙක් වෙන්න බැහැ. හොඳට කල්පනා කරලා තීරණයක් ගන්න වෙනවා.

නිළියක් වුණත් තමන්ගේ පෙම්වතිය වුණාට ප්‍රශ්නයක් නැහැ කියලා ධනුෂ්ක කියනවා…

ආදරේ කියන දේ පපුවට දැනෙන්න ඕන. තාමත් පපුවට දැනෙන මොහොත ආවෙ නැහැ. සමහර විට නිළියක් වුණත් අනාගතේ මගේ බිරිඳ වෙන්න පුළුවන්. මොන වෘත්තියක උන්නත් මගේ හිතේ තියෙන ගතිගුණ ඇයට තිබිය යුතුමයි.

ඒ ගතිගුණ හිමි යුවතිය විහාරා ටීචර් වගේ කෙනෙක්ද කියා ධනුෂ්කගෙන් මම ඇහුවා. ඔහුට රන්දික වෙලා හරි උත්තරයක් දෙන්න කියලා මම ආරාධනා කළා…

ඇත්තටම විහාරා ටීචර් වගේ කෙනෙක් ජීවිතේට ලැබෙනවා නම් කොච්චර වාසනාවක්ද! මම හොයන ගතිගුණ විහාරා ටීචර් කියන චරිතය ඇතුළේ නොඅඩුව තියෙනවා. මගෙත් සැබෑ ජීවිතයේ තියෙන්නේ රන්දිකගේ ගතිගුණ. චූලා වගේ යාළුවෝ මටත් ඉන්නවා. ගමේ පොදු දේවල්වලදි මමත් හැසිරෙන්නේ රන්දික වගේ. ඉස්කෝලේ වැඩ කටයුතුවලට තාමත් බැහැලා ඉන්නවා. ඇත්තටම ඉස්කෝලේ කියන්නේ ටෙලි නාට්‍යයක් නෙවේ, මගේ සැබෑ ජීවිතය. වෙනසකට තියෙන්නේ ටීචර් කෙනෙක් එක්ක යාළු නොවුණු එක විතරයි.

සිරුර කඩවසම්ව තියාගන්න ධනුෂ්ක ලොකු කැපකිරීමක් කරනවා…

ජිම් යන එක මගේ ජීවිතයේ කොටසක් වෙලා. ව්‍යායාම කිරීම තුළ තමයි ශරීරය පවත්වාගෙන යන්න පුළුවන්. අව්වේ ගියාට කළු නොවී ඉන්න මාර ට්‍රයි එකක් දෙනවා.

තමාට උපකාර කළ අයට හදවතින්ම ගෞරව කරනවා වගේම ඒ උපකාර හයියක් කරගෙන ඉතා සාර්ථක ගමනක් යාම තමයි ධනුෂ්ක සම්පත්ගේ එකම බලාපොරොත්තුව…

ලක්සිරි සර්, ධම්මික අලුත්ගෙදර, සමන් එදිරිමුණි සහ දිලුක ප්‍රසාද් යන අය ලබාදෙන ශක්තියෙන් තමා මම නැගිට්ටේ. දිමිත්‍රි හැම වෙලාවකම මගේ රංගනය වැඩිදියුණු කරන්න උදව් කරනවා. ඉස්කෝලේ නාට්‍යයේ ඉන්න හැමෝටම මම පින් දෙනවා. තවත් නාට්‍යයක් හා චිත්‍රපටයක් ලැබිලා තියෙනවා. සිනමාවට ගොඩක් කැමැත්තෙන් ඉන්නේ. ලබන අවුරුද්දේදී ජනප්‍රිය නළුවාගේ සම්මානය ලබාගන්න උත්සාහ කරනවා. ඒ වගේම දිගටම රඟපාන්නත් කැමතියි. ඒ අතරේ මැණික් ව්‍යාපාරයටත් සම්බන්ධ වෙලා කටයුතු කරනවා. මොකද අනාගතයේ ආර්ථිකය ශක්තිමත් කරගත යුතුයි. ඉදිරියේදී හවුලේ පතල් කරන ගමන් මගේම පතලක් ආරම්භ කරනවා. කැපවීම හා මහන්සිය තුළ ජීවිතේ දිනන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා.

(ක්‍රිෂාන්ත පුෂ්පකුමාර)
(පිනි පලස)

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top