Feb 15, 2022

මාව ගොඩක් අය ඉදිරියට අරන් ගියා!

‘වලවෙට්ටුවා’ කියන්නේ පසුගිය දිනවල ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වූ විශාල ප්‍රේක්‍ෂකයන් පිරිසකගේ අවධානය දිනාගත් වෙනස්ම ආකාරයේ ටෙලි නිර්මාණයක්. ‘වලවෙට්ටුවා’හි ‘සමාධි’ගේ චරිතයට පණ පෙවූ ඇය සරාගී නිරූපණ ශිල්පිනියක්ම විතරක් නොව නව පරපුරේ දක්‍ෂ රංගන ශිල්පිනියක්. නමින් ඇය තිළිණි ෆර්නැන්ඩු. නිරූපණයට මෙන්ම රංගනයටද අලුත් මුහුණක් නිසා ‘මව්රට-හාට්’ අපි ඇය සොයා යන්නට හිතුවා.

තිළි ඔබ ගැන දැනගන්න ගොඩදෙනෙක් කැමැත්තෙන් ඇති මුලින්ම ඔයාගේ විස්තර ටිකක් කියමු..?
මගේ ගම කුරුණෑගල. පාසල් ගියේ කුරුණෑගල ලක්දාස් ද මැල් විද්‍යාලයට. මගේ පවුලේ ඉන්නේ මමයි, අම්මයි, තාත්තයි, අක්කලා දෙන්නයි… තාත්තා නම් පොලිස් නිලධාරියෙක්. ලොකු අක්කා නම් ලංකාවෙ නැහැ. දෙවැනියත් පොලිස් ‘එස්.අයි’ කෙනෙක්. අම්මා නම් ගෙදර ඉන්නේ.

කලාවේ ආරම්භය ගැනත් මතක් කරමු..?
කලාවේ ආරම්භය ගැන කියනවා නම් මාව මුලින්ම උඩරට මනාලියක් විදියට ඩේ‍රස් කරලා නිරූපණ ක්‍ෂේත්‍රයට ගෙනාවේ කුරුණෑගල ‘Trend U Salon’ එකේ මයිකල් අයියා. එතැනින් එහාට මාව ගොඩක් අය ඉදිරියට අරන් ගියා.

නිරූපණ ක්‍ෂේත්‍රයට පිවිසුණේ කොයි කාලයේද..?
නිරූපණ ක්‍ෂේත්‍රයට ආවේ 2020 අවුරුද්දේ වගේ. දැනට අවුරුදු එකහමාරක් වගේ වෙනවා.

‘වලවෙට්ටුවා’ ටෙලි නිර්මාණයේ ඔබ ‘සමාධි’ වුණේ කොහොමද?
ඇත්තටම මම රංගනයට නම් ලොකු උනන්දුවක් නැහැ. නමුත් එක ටෙලිනාට්‍යයක හරි රඟපාන්න ආසාවක් තිබුණු නිසා ඒ ආරාධනාව පිළිගත්තා. එහිදී තමයි මට ‘සමාධි’ කියන චරිතය ලැබුණේ.

‘වලවෙට්ටුවා’ කියන්නේ ඔබගේ ප්‍රථම ටෙලිනාට්‍ය. කොහොමද ජීවිතේට ඒ ලැබුණු අත්දැකීම..?
ඇත්තටම හොඳ ටීම් එකක් හිටියා. හැමෝම නිහතමානියි. ගමේ පරිසරයක ලස්සන අත්දැැකීමක් එක්ක ෂූටින් කරන්න හම්බ වුණා වගේම රංගනයේ ප්‍රවීණයන් සමග වැඩ කරන්න අවස්ථාවක් මට හිමිවුණා. ප්‍රවීණයන්ගේ උපදෙස් එක්ක ඇත්තටම ජීවිතයට ලොකු අත්දැකීමක් ලැබුණා.

කොහොමද මේ වෙද්දී ලැබෙන ප්‍රතිචාර..?
ප්‍රතිචාර නම් ගොඩාක් හොඳයි. අදටත් ගොඩක් අය මට කතා කරන්නේ ‘සමාධි’ කියලා.

‘සමාධි’ සහ ‘තිළි’ අතර සමානකම් තියෙනවද?
සමානකම් නම් ගොඩක් දුරට නැහැ.

‘සමාධි’ගේ චරිතය ගැන අපි ටිකක් කියමු..?
‘සමාධි’ කියන චරිතය ගැන කියනවා නම් ගමේම ඉන්න රස්තියාදු ගහන, එපාම කරපු කෙල්ලො සෙට් එකක ඉන්න කෙනෙක්.

මේ වෙද්දි වෙනත් ටෙලිනාට්‍යවලට ආරාධනා නැද්ද?
ගොඩාක් ආරාධනා ලැබෙනවා. ඒත් රංගනයට නම් මගේ ලොකු කැමැත්තක් නැහැ. නිරූපණ ක්‍ෂේත්‍රයට තමා මම වැඩි කැමැත්තක් දක්වන්නේ.

ඒ කියන්නේ ඉදිරියේදී ටෙලිනාට්‍ය තුළින් ඔබව දකින්න නොලැබේවිද?
එහෙමත් කියන්න අමාරුයි. හොඳ චරිතයක් හම්බවුණොත් ටිකක් හිතලා බලනවා.

තිළි වෘත්තීය කලා ශිල්පිනියක්ද?
මම වෘත්තීය නිරූපණ ශිල්පිනියක්.

ජනප්‍රිය වෙද්දි කටකතා හැදෙනවා ඒ ගැන බයක් නැද්ද?
කටකතා නම් දවසින් දවස වැඩි වෙනවා. ඇස් දෙකෙන් දකින්නෙත් නැතුව චරිත සහතික දෙන පිරිසකුත් ඉන්නවනේ. නිරූපණ ක්‍ෂේත්‍රයට ආපු මුල් දවස්වල නම් කටකතාවලට ටිකක් බයයි. ඒත් දැන් නම් ඒක සාමාන්‍ය දෙයක් වෙලා.

පවුලේ අයගෙන් ඔයාගේ නිරූපණ කටයුතුවලට සහයෝගය කොහොමද?
පවුලේ අය නම් ලොකු කැමැත්තක් නම් නැහැ. ඒත් හොඳ සහයෝගයක් ලැබෙනවා විශේෂයෙන්ම අම්මගෙන්.

ඔයා පෙම්වතියක්ද?
ඔව්…

අනාගත බලාපොරොත්තු..?
නිරූපණ ක්‍ෂේත්‍රයේ ඉහළම තැනකට එන එක තමයි මගේ අනාගත බලාපොරොත්තුව.

ටෙනායා ස්ටෙෆනි කොතලාවල
(මව්රට)

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top