'නිස්සාර'
ඒ තමයි අභිෂේකාගේ නවතම ගීතය. අප ඒ ගැන අහගන්න අභිෂේකාව හොයාගෙන ගියා.
අභිෂේකා මොකක්ද මේ නිස්සාර?
නිස්සාර කියන වචනයෙන්ම පේනවනේ ඒකේ අර්ථය. මේ ජීවිතයේ ආදරයේ අනියත බව කියවෙන්නේ මේ ගීතයෙන්.
මේකෙ තේමාවත් ඔබ නම් කරන්නේ වෙනස් විදිහට?
ආදරය කියන්නේ පපුව හීරෙන එක. ඒ අතරින් අපි හිනාවෙනවා. ඒකයි තේමාව. මේ ගීිතයෙන් මං කියන්න උත්සාහ කරන්නේ අපි ගැනමයි. අපි ලෝකෙට පේන්න හිනාවෙලා ඉන්නවා. නමුත් හදවතේ ගිනි ඇවිලෙනවා. එදිනෙදා ජීවිතයේ අපිට ඕන තරම් මිනිස්සු හමුවෙනවා ඇතිනේ. ඒ අතරින් සියයට අනූ නවයක්ම මුහුණට හිනා වෙනවා. සතුටින් කතා කරනවා. ඒත් හිතේ දුකින් ඉන්නේ. ඒ හින්දා නිස්සාර කියන්නේ අපි ගැනම කියවෙන ගීතයක්.
අභිෂේකාට කවුද මේ ගීතය ලියලා දුන්නේ?
වෙන කවුරුවත් නෙවෙයි. මමමයි ලියා ගත්තේ. මගේම අදහසක්.
ඔබේ නවතම ගීතය තාත්තට අහන්න දෙන්න බැරි වුණා නේද?
නැහැ අයියේ. එහෙම වුණේ නැහැ. ඊයේ පෙරේදා අවුට් කළා මේකේ ඕඩියෝ එක කළේ තාත්තා ඉන්නකොට. ඔහුට අහන්න ලැබුණා. වීඩියෝව ළඟදී කළේ.
නිස්සාර ගීතයේ වීඩියෝව අධ්‍යක්ෂණය කළේ කවුද?
චමිල් පතිරණ.
ගීතයේ සංගීතය සපයපු කෙනාවත් සඳහන් කළොත්?
දිළුම් තේජන.
නිස්සාර කියන වචනයේ ගණ පිහිටීම හොඳ නැහැ කියලා කවුරුවත් කිව්වේ නැද්ද?
කිව්වා. ඒත් මං ඒවා වැඩිය විශ්වාස කරන්නේ නැහැ. නිස්සාර යනුවෙන් ගීතයක් ආරම්භ කිරීම අසුබයි කියලත් කිව්වා.
අභිෂේකා ජ්‍යෙතිෂය විශ්වාස කරන්නේ නැද්ද?
උපදින්නටත් වෙලාවක් නැත්නම්, මියැදෙන්නටත් වෙලාවක් නැත්නම් ඒ අතරතුර කාලයේදී කරන දේවල්වලටත් මොකටද සුභ අසුභකම් බලන්නේ.
නිස්සාර ගීතය ෂූට් කරලා තියෙන්නේ හොල්මන් බංගලාවක?
ඔව්.
කවුද කිව්වේ එතැනම රූපගත කිරීම්වලට යොදා ගමු කියලා?
ඒක ඉතින් අධ්යක්ෂවරයාගේ අදහසක්.
හොල්මන් බංගලාවේ ෂූට් කරද්දී ඇත්තටම බය වුණා කියන්නේ ඇත්තද?
ඔව්. ඒක වුණේ මෙහෙමයි.
එතැන ඇඳුම් මාරු කරගන්න තිබුණු වොෂ් රූම් එකට මං ගියා. එතකොට ප්‍රඩක්ෂන් කෲ එක හිටියේ එළියේ. මං හිටපු තැන මීක් සද්දයක් නැහැ. මං ඇඳුම් මාරු කරගෙන එළියට එනකොට මට ඇහුණා ගෑනු ළමයෙක් බෙරිහන් දෙනවා. ඒ සද්්දෙට මටත් කෑගැහුණා. කට්ටියම දුවගෙන ආවා. මට ඇහිලා තියෙන්නේ වීඩියෝව රඟපාන්න ආව මනෝජාගේ හඬ. ඇය මාව දැකල බය වෙලා තියෙන්නේ. ඇය හිතලා තියෙන්නේ මම හොල්මනක් කියලා. මම හිතුවේ ඇය හොල්මනක් කියලා. දෙන්නට දෙන්නා බය වෙලා.
නිස්සාර ගීතයේ පදමාලාව:
නිස්සාර සංසාර හිතේ
අතීතේ ඔබ ඉන්නවා දැනෙනවා
කවදාක හමුවන්න දැකගන්න වේදෝ
තුන් යාමේ මං අහනවා
හැම රෑම ඈ ගාව ඔබ නිදනවා
ඔබ නැතිව ඔය හිතම මං ඉඹිනවා
උණුසුම් හාදු අද ඇගේ
සෙනෙහස තාම අප හිතේ
දකිනා වාරයක් පවා
මගෙ මුළු හිතම ගිනි ගනී
මන්දාරම් පවන් පොදේ
තවමත් ඔබෙ සුසුම් දැනේ
හිත ගැහෙනා මේ හීිතලේ
සැඟවෙමි ඔබගේ පපුතුරේ
-ප්‍රසාද් සමරතුංග-
සරසවිය