Pasidol
Sathosa Ad Final Sinhala
new year 2018 sin
Dec 27, 2017

ඒ නැටුම තියෙන කල් මම තිරිහන් වේවි - ජැකා

රැඟුම, ගැයුම, වැයුම, කියුම දැක්ම මේ ආදී ඔහුගේ ජීවිතයට බද්ධ වී ඇති අපූර්වත්වය ගැන අමුතුවෙන් අටුවා ටීකා ටිප්පනි දිග හැරිය යුතු නොවේ. ඔහු ජැක්සන් ඇන්තනි යැයි කී පමණනින්ම සෑහේ. ශ්‍රී ලංකීය සමාජයට මේ අපූරු සොඳුරු මානවයා විශේෂිත චරිතයකි. මේ සූදානම ඔහුගේ ජීවිතයේ අපූර්වත්වය ගැන තවදුරටත් විග‍්‍රහ කිරීමට නොවේ. රංගධරයා යන භූමිකාවේ සිට ගත් කළ ලාංකීය භූමියේ දී මෙතෙක් කළ රංගනයන් උදෙසා සම්මාන ගොන්නකට ඔහු හිමිකම් දරයි. මෑතකදීත් හොඳම නළුවා ලෙස ඔහු සම්මාන ලබුවේය. එලෙසින් සම්මානනීය රංග චාරිකාවක නිරතව සිටින ජැක්සන් ඇන්තනි මේ සූදානම් වන්නේ කේරළ සිනමාව ආක‍්‍රමණය කිරීමටය. එලෙසින් භාරත සිනමාව ආක‍්‍රමණය කළ මොහොතක අපි ඔහු සමග කතා බහකට එක් වීමු.

හරිම අමාරුයි ඔබ අල්ලා ගන්න, එතරමම්ම කාර්ය බහුලයි නේද?

රංග කාර්යයේ යෙදෙන අපි එතරම් කාර්ය බහුල වීම වාසනාවක් නේද? අපි සිටින්නේ වැඩ කරන්නනෙ. ඉතින් වැඩ ලැබීම හොඳ දෙයක්. ඒක හරි සුබ නිමිත්තක්.

ධර්ම යුද්ධය තවමත් තිරගත වෙනවා. පවුල් පිටින් ගිහින් මිනිස්සු එය නරඹද්දි ජැක්සන් මාධ්‍ය ඔස්සේ කරළියට ආවේ නැහැ. කොහෙද හිටියේ.

මෙය ප‍්‍රදර්ශනය වන කාලයේදී අඩු තරමින් මංගල දර්ශනයේ උණුසුම් ප‍්‍රතිචාරවත් ලබන්න මම ලංකාවේ හිටියෙ නැහැ. ඒ දිනවල හිටියෙ ඉතාලියෙ. හැබැයි සතියකට හමාරකට පස්සේ ලංකාවට ඇවිත් රස්තියාදුවෙ යන කොට ඒ යන එන තැන්වල දී මට ලැබුණු ප‍්‍රතිචාර නම් හරිම ඉහළයි.

රස්තියාදුවෙ යනවා කියන්න බොහෝ දෙනා අකමැතියි. මොකක්ද මේ ඔබගෙ රස්තියාදුව?

මම රට වටේ සංචාරය කරන සෞන්දර්යාත්මක රස්තියාදුකාරයක්. ඒ නිසා ඒ සුන්දර රස්තියාදුවටට මම හරි කැමැතියි.

ලංකාවේ නොගියෙ කොතැනට ද?

මේ පුංචි රටේ මම විශාල ලෙස සුන්දර රස්තියාදුවේ ගියත්, තවම නොගිය තැන් තියෙනවා. මේ විදියට සුන්දර රස්තියාදුවේ යද්දී මිනිසුන්ගෙන් ලැබෙන ප‍්‍රතිචාරත් හරිම සුන්දරයි. පසුගිය දිනවල ‘‘අප්පච්චි’’ ටෙලි නාට්‍යයේ අප්පච්චි චරිතයට ලැබුණු ප‍්‍රතිචාර අත්වින්ඳා. ඊළඟට ධර්ම යුද්ධයේ හරිස්චන්ද්‍ර කියන්නෙත් අප්පච්චිට. ඒ නිසා ලැබුණු ප‍්‍රතිචාර හරි සුන්දරයි.

මේ වගේ රඟපාන චරිතවලට නිතර සම්මානත් ලැබෙනවා. පසුගිය වතාවේදීත් සම්මානයක් ලැබුණා. දැන් සම්මාන ඔක්කෝම කොච්චර තියෙනවද?

දැනට දාසය වතාවක් හොඳම නළුවා සම්මානය දිනා ගෙන තිබෙනවා. ඒ වගේම අධ්‍යක්ෂණය, තිර රචනය ඇතුළු විවිධ අංශ නියෝජනය කරමින් ජාතික වශයෙන් සම්මාන 56 ක් විතර ලැබී තියෙනවා. ඊටත් අමතරව ගෞරව සම්මානත් බොහොමයක් ලැබි තිබෙනවා. මේ ගෙවෙන්නේ මගේ සිනමාවේ 25 වැනි වසරයි. රිදී ජුබිලිය එලෙසින් ගෙවුණත් මම මේ ගෙවී ගිය විසිපස් වසර ඇතුළත දී රඟපාලා තියෙන්නේ චිත‍්‍රපට 24ක විතරයි. 25 වැනි එක තමයි මේ කේරළ චිත‍්‍රපටය. කෙසේ වෙතත් 24 න් 16 කට හොඳම නළුවා සම්මානය ලැබීම සතුටටම හේතුවක් වුණා.

කෙසේ වෙතත් ඔබ රඟ පෑ චිත‍්‍රපට ප‍්‍රමාණයට වඩා ප‍්‍රතික්ෂේප කළ ප‍්‍රමාණය වැඩි බවයි සඳහන් වන්නේ?

ඒ කතාව හරි. මට රඟපාන චිත‍්‍රපටි ප‍්‍රමාණය වැඩි කර ගන්න වුවමනා වුණේ නැහැ. මම හරි තෝරා ගැනීමක හිටපු කෙනෙක් කියන සතුට තියෙනවා.

ඒ විදියට ප‍්‍රතික්ෂේප කරන්නට හේතුව ඔබ චරිතයක් සඳහා අය කරන ගණන වැඩි නිසා නේද? .

ඒකත් එක් හේතුවක් වෙන්නට ඇති.

එලෙසින් යන රංග චාරිකාවේ විශේෂ සලකුණක් පසුගිය දා සනිටුහන් වුණා. ඔබ කේරළ සිනමාව ආක‍්‍රමණය කිරීම. මොකද ඒ ගැන හිතන්නෙ?

මට කේරළ සිනමාව පෙනෙන්නට කලින් කේරළ සිනමාවට මාව පෙනීම ඇත්තෙන්ම මගේ පැත්තෙන් සතුටට කරුණක්. මේ කේරළ සිනමාව අතර අපි කවුරුවත් පාලමක් හදලා තිබුණේ නැහැනේ. එවැනි ස්වභාවයක දී කේරළයෙන්ම මාව සොයා ගැනීම විශේෂත්වයක් ලෙසයි මා දකින්නේ. මෙම චිත‍්‍රපටයේ නිෂ්පාදිකා බීනා උන්නි ක‍්‍රිෂ්ණන් හෝ අධ්‍යක්ෂ අනිල් කුමාර් මම දැන සිටි අය නොවෙයි. ඔහු චිත‍්‍රපට 42 ක් අධ්‍යක්ෂණය කළ ප‍්‍රවීණයෙක්. මේ චිත‍්‍රපටයට ඉන්දීය මාවත් තෝරා ගැනීම සිදුව තිබෙනවා. මේකට ප‍්‍රධානම හේතුවක් ධර්ම යුද්ධය වෙන්න ඇති. එහි ප‍්‍රථම නිර්මාණය සිදු වුණේ කේරළ නිර්මාණයක් ලෙසයි. ‘‘දෘෘෂ්‍යම්’’ චිත‍්‍රපටයයි. පසුව එය කන්නඩ, දමිළ, තෙළිඟු විදියටත් පසුව ශ්‍රී ලාංකීය චිත‍්‍රපටයක් ලෙසත් එය නිර්මාණය වුණා.

මෙහි මුහුරත් උළෙල සහ නළු නිළියන් හඳුන්වා දීමේ අවස්ථාව පසුගියදා කේරළයේ දී පැවැත්වුණා. එහිදී වීර චරිතය ලෙස එනම් ඒ චිත‍්‍රපටයේ නළු නිළියන් අතරින් ප‍්‍රධාන චරිතය රඟපාන නළුවා වූ ඔබ ගැන ඔවුන් විශේෂිත වර්ණනාවක් සහිත අගැයීමක් කළා නේද?

ඇත්තෙන්ම ඔව්. ඔවුන් ඉහළ පිළිගැනීමක් කළා. ජනකාන්තව නිර්මාණය වූ ලංකාවේ නිර්මාණ රැසකට දායකත්වය ලබා දුන් ජනකාන්ත හා දක්ෂතම නළුවා කියලා ඔවුන් විශේෂිත හැඳින්වීමක් කරමින් මේ චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතය රඟපාන චරිතය ලෙස මාව හඳුන්වා දුන්නා. මෙහිදී තවත් විශේෂ දෙයක් වුණේ අපේ රටේ අන්තර් ජාලයේ භාවිතයේ දී වැඩිම ප‍්‍රමාණයක් නරඹා ඇති නිරූපිකාව වන පියුමි හංසමාලි ඔවුන් තෝරාගෙන තිබීමයි. මෙම චිත‍්‍රපටය තුන්කොන් ආදාර කතාවක්. ලක්නව් නමැති එහි ගංගා නමැති මගේ බිරිඳගේ චරිතය සඳහා තෝරා ගෙන ඇත්තේ ඇයයි.

පසුගිය කාලයේ දී ඔබ විචාරකයෙක්, දාර්ශනිකයෙක් සහ සෞන්දර්යයවාදියෙක්, සංවාරකයෙක්, දේශපාලන මති මතාන්තර අදහස් ප‍්‍රකාශ කළ සමාජ චරිතයක්. ඒ වගේම පොත් ගුල්ලෙක් සහ ගවේෂකයකු වගේම ඉතිහාසඥයකු යන භූමිකා නිරූපණය කළා. කෝ අද ඒ ජැක්සන් ?

ඔබ ඔය කියු සියලූ හැඳින්වීම් අතරින් දාර්ශනිකයා කියන හැඳින්වීමට මම හරිම ප‍්‍රියයි. ජීවිතය පිළිබඳ ආවර්ජනය කරන්න යළි කතා කරන්න තමයි මම වඩාත් කැමති. ඒ ගැන මට හිතෙන හැඟීම් ප‍්‍රකාශ කරන්න තමයි මම කැමති. ඒ නිසා ඒ කටයුත්තත් සිද්ධ වෙනවා. මේ දිනවල මම පොතක් ලියමින් සිටින්නේ. ස්ත‍්‍රිය සහ සම්ප‍්‍රදාය නමින් පොතකුත් පසුගියදා රචනා කළා. ඒ ශාස්ත‍්‍රීය කටයුතු ටික එලෙසින්ම සිදුවෙනවා. මම වඩා කැමති ඊට නිසා. මම තෝරා බේරාගෙන කරන කටයුතු එලෙසින්ම සිද්ධ වෙනවා. ඒ ඒ කාලවල වටිනාකම සහ ගැළපීම අනුව ඒ දේ සිද්ධ වෙනවා.

මේ කේරළ චිත‍්‍රපයේ වැඩවලට සහ ලංකාවේ තවත් චිත‍්‍රපට දෙකක රඟපෑම් බාරගෙන තිබෙනවා. අද වැඩිපුර කාලය ඒ වෙනුවෙන්.

ඉතිහාසයේ රසයත් එක්ක වැඩිපුර ජීවත් වෙන්න ආස කරන නිසාමද?, ඔබ මේ තරමට එන්න එන්නම තරුණ වෙන්නේ? ඔබගේ පුතාලා දෙන්නටත් වඩා ඔබ කොල්ලා වෙලා?

මගේ කෝල්ලා කාලයේදීත් මම එහෙමනෙ. කොල්ලා වගේ ඉන්න ආසයි. මම හිතන්නේ ඒ ජවයට හේතුව තමයි මම නාට්‍යකරුවකු වීම. මධුර ජවනිකා වේදිකා ගත වෙන්න පටන් ගත්දා ඉ`දලා වසර ගණනාවක් තිස්සේ දර්ශන වාර හාර දහස් ගණනක් මේ වන විට රඟපාලා තියෙනවා. ඊයේත් එහි දර්ශනයක් රඟ දැක්වූවා.

එහි නටමින් ගයමින් 83 සිට 2017 දක්වාම මෙලෙස එකම විදියට චරිතය රඟපාන නළුවකු වේදිකාවේ තවත් සිටිනවද දන්නේ නැහැ. මධුර ජවනිකා චරිත කිපයක්ම මම කරනවා. ඒ නැටුම තියෙන කල් මම තිරිහන් වේවි. මාසයකට මධුර ජවනිකා දර්ශනවාර හතරක් විතර පැවැත්වෙනවා. වේදිකාවේ ඒ කරන හරඹය තමයි මාව ඒ තරුණ්‍යයට ඇද දැම්මේ.

ජැක්සන් නත්තල ඔබගේ ජීවිතයට බැඳුණු දෙයක්. මේ නත්තල් සමයේ ඒ ගැන කතා නොකළොත් අඩුවක් වේවි. මෙදා සැරේ නත්තලට මොනවද කරන්නේ? නත්තලේ අතීත සැමරුම් ගැනත් කිව්වොත්.?

මෙදා නත්තලට මම ලංකාවේ නැහැ. ඉතාලියේ ඉඳීවි. අපේ අයියා සේනක ටයිටස් මිය ගිය නිසා මෙදා සැරේ මෙහේ නත්තල් උත්සව නැහැ. වෙනදාට රාගම මහ ගෙදරට අපි කට්ටිය එකට එකතු වෙනවා. අයියා නැති නිසා මෙවර එය නැහැ. මගේ අනෙක් සහෝදරයන් තුන් දෙනා සිටින්නේ ඉතාලියේ. මම මෙහේ තනි වෙලා. ඒ නිසා එයාලා මට එහේ එන්න කිව්වා. එයාලා එහි ජීවත් වන්නේ ලෙක්කෝ නමැති අතිශය සුන්දර පළාතක. බොහෝම සුන්දර කඳුකර ප‍්‍රදේශයක්. ස්විස් දේශ සීමාවේ ඇල්ප්ස් කඳු වැටි සීමාව පෙනෙන දුරක. ඒ සීතලට ඒ සුදෝ සුදු හිම යායට මම ආසයි. ලංකාවේ හිටියා නම් අපි පුරුද්දක් හැටියට 24 දා රාත‍්‍රියට නත්තල උදා වෙද්දී පල්ලියට යනවා. කතෝලික සංස්කෘතියට අයත් ඒ වතාවත්වල යෙදෙනවා. පුංචි කාලයේදී ඒ සියල්ල හරිම රසවත් අත්දැකීම් වුණා. අදත් රාගම පොඩි වී කුඹුරෙ මහ ගෙදරට ගියාම ඒ අතීතය සිහිපත් වෙනවා.

සටහන සහ ඡායාරූප - සඳුන් ගමගේ

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top