Oct 25, 2018

තබ්බෝව සහ දැදුරු ඔයේ වාන් දොරටු විවෘතයි

තබ්බෝව ජලාශයේ සහ දැදුරුඔය ජලාශයේ වාන් දොරටු මේ වන විට විවෘත කර ඇති බැවින් පහල ප්‍රදේශවල පදිංචිකරුවන් අවධානයෙන් පසුවන ලෙස ඉල්ලීමක් කරන්නේ යැයි පුත්තලම ආපදා කළමණාකරන ඒකකය සදහන් කරයි.

ඊයේ (24) වැනිදා රාත්‍රිය වන විට මීඔයේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් තබ්බෝව ජලාශයේ වාන් දොරටු 02 ක් අඩි 01 බැගින් විවෘත කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත. දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 04 ක් අඩි 03 බැගින් මේ වන විටත් විවෘතව ඇත.රාජංගනය ජලාශයේ වාන් දොරටු 02 ක් අඩි 04 බැගින් විවෘත කර තිබූ අතර,එම දොරටු 24 වැනිදා රාත්‍රීයේ වසා දැමීමට කටයුතු කරන බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව සදහන් කළේ යැයි පුත්තලම ආපදා කළමණාකරන ඒකකය සදහන් කරයි.

කෙසේ වෙතත් කලාඔයේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් පුත්තලම - මන්නාරම මාර්ගයේ ගමනා ගමන කටයුතුවලට බාධා එල්ලවී ඇත. පුත්තලම - මන්නාරම මාර්ගයේ එළුවන්කුලම ප්‍රදේශයේ පිහිටි සපත්තු පාලම මතින් කලාඔය අගල් 35 ක පමණ ජලයක් ගලා යන බවද ආපදා කළමණාකරන ඒකකය සදහන් කරයි. මෙම නිසා එම මාර්ගයේ ගමනා ගමන කටයුතු අත්හිටුවා ඇති අතර,විකල්ප මාර්ග භාවිතා කරන ලෙස ඉල්ලීමක්ද කරයි.

සටහන - ජුඩ් සමන්ත - පුත්තලම

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top