Sathosa

Dec 06, 2018

පාර්ලිමේන්තුව විසුරුවීම අත්හිටවූ අතුරු තහනම් දීර්ඝ කරයි !

පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා විසින් පසුගිය 9 වන දා නිකුත් කරන ලද ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවමින් නිකුත් කර තිබු අතුරු තහනම් නියෝගය අනිද්දා දක්වා දිර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (06) පස්වරුවේ නියෝග කළේ ය.

අගවිනිසුරු නලීන් පෙරේරා මහතා ප්‍රමුඛ සත් පුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කළේ, එම ගැසට් නිවේදනයට එරෙහිව ගොනු කර තිබු පෙත්සම් සම්බන්ධයෙන් විභාගය සිව් වන දිනටත් හෙට (07) දිනයේ යළි පැවැත්වීමටයි.

එම ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් එක්සත් ජාතික පක්ෂය, ද්‍රවිඩ එක්සත් සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඇතුළු දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන කිහිපයක් විසින් ඉදිරිපත් කළ පෙත්සම් සලකා බැලූ අගවිනිසුරුවරයා ප්‍රමුඛ විනිසුරු මඩුල්ලක් විසින් පසුගිය 13 වන දා අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබු අතර එම අතුරු තහනම් නියෝගය හෙට දක්වා බල පැවැත්වෙන පරිදි නිකුත් කිරීමට ද විනිසුරු මඩුල්ල නියෝග කර තිබිණ.

ජනාධිපතිවරයාගේ ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබු පෙත්සම්වල අතරමැදි පාර්ශ්වකරුවන් ලෙස ඉදිරිපත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ඇතුළු පෙත්සම්කරුවන් 5 දෙනා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අද දිනයේ විනිසුරු මඩුල්ල හමුවේ කරුණු දක්වනු ලැබීය.

එහිදී ජනාධිපති නීතිඥ ගාමිණි මාරපන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙන්වා දුන්නේ -මාර්ග නීතිය රැකීමට ගියහොත් ලෙඩා මැරෙනවා- එම නිසා ලෙඩාට අසාධ්‍ය නම් මාර්ග නීති නොතකා රිය පැදවීමේ අයිතිය ගිලන් රථ රියැදුරෙකුට ඇති බවයි.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top