Dec 19, 2018

අමරවීර විපක්ෂ සංවිධායක තනතුරින් ඉවත්වන ලකුණු !

ජනාධිපතිවරයා විසින් විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ධුරයට ඊයේ (19) නම් කරනු ලැබූ මහින්ද අමරවීර මහතා එම තනතුරින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතයි ශ්‍රීලනිප අභ්‍යන්තර ආරංචිමාර්ග වලින් වාර්තාවේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් වන මහින්ද අමරවීර මන්ත්‍රීවරයා එම තීරණය ගැනීමට තීන්දු කර ඇත්තේ ශ්‍රීලනිප 23 කණ්ඩායමේ තීරණයක් මත බවද එම ආරංචිමාර්ග පවසයි.

ශ්‍රීලනිප ජාතික සංවිධායක දුමින්ද දිසානායක මන්ත්‍රීවරයා කැඳවුම්කරු වන 'ශ්‍රීලනිප 23 මන්ත්‍රී කණ්ඩායම', ජනවාරි 08 වනදා ජනාධිපතිවරයා ජනතාවට ලබාදුන් පොරොන්දු යථාර්තයක් කිරීම සඳහා එක්සත් ජාතික පෙරමුණ සමග යලි සන්ධාන ගතව ඔක්තෝම්බර් 26ට පෙර පැවති යහපාලන ආණ්ඩුව යලි බලාත්මක කලයුතු බවට ජනාධිපතිවරයාට බලපෑම් කරමින් සිටියි.

මේවනවිට එම කණ්ඩායම නියෝජනය කල ලක්‍ෂ්මන් සෙනෙවිරත්න, ඉන්දික බණ්ඩාරනායක සහ විජිත් විජයමුණි සොයිසා යන මහත්වරු ඊයේ (18 දා) පාර්ලිමේන්තුවේදී විපක්‍ෂයේ සිට ආණ්ඩු පක්‍ෂයට ගොස් අසුන් ගත්හ.

අභ්‍යන්තර ගැටුම් උත්සන්න වේ !

මේ සම්බන්ධයෙන් ඊයේ රාත්‍රී පැවති ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේදී ද බරපතල මතගැටුම් සිදුව ඇති අතර එහිදී මහින්ද අමරවීර මන්ත්‍රීවරයා සහ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා අතර උණුසුම් වචන හුවමාරුවක්‌ සිදුව තිබේ. පක්‍ෂය හැර ගිය සහ හැර යන අයට විනය ක්‍රියාමාර්ග ගන්නේ නම් අතීතයට ද එය බලපෑ යුතු බව ප්‍රකාශ කිරීමේදී මෙම මත ගැටුම සිදුව ඇත. දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ෆයිසර් මුස්‌තාපා මන්ත්‍රීවරයා සමග ද බහින්බස්‌වීමක්‌ සිදුව ඇත.

2015 ජනවාරි 08 සහ 2015 අගෝස්‌තු 17 පැවති මැතිවරණවලින් පසුව ශ්‍රීලනිපය පක්‍ෂයක්‌ ලෙස ආණ්‌ඩුවට සහාය දැක්‌වීමට තීරණයක්‌ ගත් බවත් මේ අවස්‌ථාවේදී පක්‍ෂය එවැනි තීරණයක්‌ නොගෙන ආණ්‌ඩු හැදීමට සහායදීම අනුමත කළ නොහැකි බව දකුණේ මහ ඇමැති ශාන් විඡේලාල් ද සිල්වා මහතා එහිදී ප්‍රකාශ කර තිබේ.

මහාචාර්ය ගාමිණී සමරනායක මහතා සහ ආචාර්ය සරත් අමුණුගම මහතා අතර ද මත ගැටුමක්‌ ඇතිවී තිබෙන අතර ආචාර්ය මහාචාර්ය අතර ප්‍රශ්නය අපි නතර කර වෙන දෙයක්‌ පිළිබඳව අවධානය යොමු කරමු යෑයි ජනාධිපතිවරයා මෙහිදී පවසා ඇත.

මෙම රැස්‌වීම ඊයේ (18 දා) සවස ඇරැඹි අතර එය පුරා පැය දෙකක කාලයක්‌ පැවත් වී ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top