Dec 24, 2018

බස් ගාස්තු, ත්‍රීවීල් ගාස්තු පහලට !

විසි හයවැනිදා මධ්‍යම රාත්‍රියේ සිට බස්ගාස්තු අඩු කරන බව ප්‍ර‍වාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අද (24) නිවේදනය කළේය.

ඒ බස්හිමියන් සමඟ සිය අමාත්‍යාංශයේදී සිදුකළ සාකච්ඡාවකින් පසුව මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමිනි.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ ඉන්ධන මිල අඩු කිරීමට සමාන්තරව සියයට හතරකින් (4 %) එම බස් ගාස්තු අඩු කිරීම සිදු කරන බවයි.

“බස් ගාස්තු ගණනය කිරීමේදී සලකා බැලෙන පිරිවැය කාණ්ඩ දොළහක් තියෙනවා. එයින් එකක් තමයි ඉන්ධන මිල කියන්නේ. ඉන්ධන මිල මේ වන විට රුපියල් 15කින් අඩු වී තිබෙනවා. නමුත් බස් ගාස්තුව ගණනය කිරීම සඳහා සලකා බැලෙන සෙසු පිරිවැය කාණ්ඩ එකොළොහෙම මිලෙහි අඩුවීමක් සිදුව නැහැ. ඒ නිසා සමස්ත බස් ගාස්තුව සියයට හතරකින් අඩු කළත් අවම ගාස්තුවේ වෙනසක් නොකිරීමට සාමූහික තීරණයකට එළැඹුණා...”යිද රණතුංග මහතා පැවසීය.

බස්ගාස්තු අඩු කිරීමට සමගාමීව ත්‍රීවිල් ගාස්තු අඩු කිරීමටද අද තීරණය කර තිබේ.

ඒ සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ හා හිමිකරුවන්ගේ සංගමයේ නියෝජිතයින් අද අමාත්‍යවරයා හමුවූ අවස්ථාවේදීය. එහිදී ඔවුහු ත්‍රීරෝද මගී ප්‍රවාහනයේදී මුල් කිලෝමීටරයට අය කරන රුපියල් 60ක ගාස්තුව රුපියල් 50 දක්වා රුපියල් 10කින් අඩු කිරීමට පොරොන්දු වී තිබේ.

සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයද පාසල් ළමුන් ප්‍රවාහනයේදී අය කරන ගාස්තුව සියයට 3කින් අඩු කිරීමට එකඟවී ඇති බවද පැවසේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top