Dec 28, 2018

ත්‍රි'මලේ තෙල් ටැංකි යකඩවලට විකුණලා (ඡායා)

දෙවන ලෝක යුධ සමයට පෙර බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ විශ්මිත නිර්මාණයක් ලෙස ලංකාවට දායාද වු ත‍්‍රිකුණාමලය චීනවරායේ පිහිටි තෙල් ටැංකි සංකීර්ණයේ ටැංකි කිහිපයක් යකඩ වලට විකීණීමට කැපු අට දෙනෙකු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

කපා දමා ඇති මෙම තෙල් ටැංකි ලංකා ඉන්දීය තෙල් සමාගම් පරිශ‍්‍රයට අයත් කොටසෙහි පිහිටා ඇති අතර එම සමාගමේ ආරක්ෂක අංශය කළ පැමිණිල්ලකට අනුව විමර්ශනයක් සිදුකර මෙම සැකකරුවන් ටැංකිවලින් කපා ගන්නා ලද තහඩු තොගයක්ද සමග අත්අඩංගුවට ගත් බව චීනවරාය පොලිසිය කියයි.

මෙම තෙල් ටැංකි පරිශ‍්‍රයේ කැළෑවට වැසී ඇති කොටසින් ඇතුළු වූ යකඩ කපන්නන් මෙම විනාශය කර ඇති බව මුලික පරික්ෂණවලින් හෙලිවී තිබේ.

කලක සිට යකඩ හොරුන් විසින් මෙම පර්යන්තයේ පිහිටි තෙල් ටැංකිවල යකඩ කපා ගෙන ගොස් ඇති අතර මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් ටැංකි දෙකක් කපා එහි යකඩ තහඩු ඉවත් කර ගෙන ගොස් තිබේ.

ලංකා ඉන්දීය සමාගම චීනවරාය පොලිසියට කර ඇති පැමිණිල්ල අනුව මෙම ටැංකිවලට සිදු කර ඇති හානිය ලක්ෂ 90 ක් බවට දැනුම් දී තිබේ. ත‍්‍රිකුණාමලය වරායට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීම සඳහා එවකට ලංකාව යටත් කරගෙන සිටි බ්‍රිතාන්‍ය ජාතිකයන් 1924 දී මෙම තෙල් ටැංකි 101 න් සමන්විත මෙම සංකීර්ණයෙහි ඉදිකිරිම් අරඹා ඇති අතර 1930 දී වැඩ අවසන් කර තිබුණි.

මෙම ටැංකි අගල් දෙක හමාරක යකඩ තහඩු රිවට් ඇණ වලින් සවිකර ඉදිකර තිබු විශ්මිත නිර්මාණයක් ලෙස සැලකේ අක්කර 685 ක වපසරියක් තුළ විහිදී ඇති තෙල් ටැංකි සංකීර්ණයේ තෙල් ගබඩා කළ හැකි ටැංකි වැඩි කොටසක් කැළයෙන් යටව තිබේ.

සටහන සහ ඡායා - ලක්මාල් කේ බදුගේ - ත‍්‍රිකුණාමලය

Oiltank1 670px 18 12 28කපා යකඩ තහඩු ඉවත් කල ටැංකිය කොටසක්

Oiltank5 670px 18 12 28

යකඩ හොරුන් ටැංකි අභ්‍යන්තරයේ පතුලේ යකඩ කපා ඇති අයුරු

Oiltank3 670px 18 12 28
කැළයෙන් වැසි ගිය ටැංකියක්

Oiltank4 670px 18 12 28ටැංකි සංකිර්ණය ගුවනට පෙනෙන අයුරු

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top