Dec 30, 2018

පොහොට්ටුවට දෙන්න බැහැ : ශ්‍රීලනිපයට විපක්ෂ නායකකම ඉල්ලයි !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවට එක්නොවී විපක්ෂයේ සිට කටයුතු කලයුතු බවට ජනාධිපතිවරයා තවදුරටත් දැඩි ස්ථාවරයක සිටින්නේ නම්, විපක්ෂ නායක ධුරය තම පක්ෂයට හිමිවිය යුතු බව ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම අවධාරණය කර සිටියි.

ඒ අනුව ශ්‍රීලනිපයෙන් පොහොට්ටු පක්ෂයට එක්වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා වෙනුවට ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ නායකයකු වන නිමල් සිරිපාල ද සිල්වා විපක්ෂ නායකයා ලෙස පත්කළ යුතු බවට එම මන්ත්‍රී කණ්ඩායම ජනාධිපතිවරයා දිවයිනට පැමිණිවිට ඉල්ලා සිටීමට යයි.

එත් අවශ්‍ය නම් විපක්ෂයේ සංවිධායක ධුරය 'පොහොට්ටුවටත් ලබාදීමට ඔවුන්ගේ විරෝධයක් නැතැයි ද පැවසේ.

පාර්ලිමේන්තුව නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී කණ්ඩායමේ බහුතරය නියෝජනය කරන්නේ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ය.

''ගම්වල ශ්‍රීලනිපය - පොහොට්ටුව නයි මුගටි වෛරයෙන්''

මේ අතර ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ නායකයකු වන සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසන්නේ, පක්ෂයෙන් තමන්ට බලවත් අසාධාරණයක් සිදුවූ බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජනහමුවක් අමතමින් එබව කියා ඔහු, රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කර පැය බාගයක් යන්නට පෙර මහින්ද රාජපක්ෂ මහතාට අගමැතිකම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ලබාදුන් බවත් දිවුරුම් දෙන තෙක් තමන් පවා එය නොදැන සිටින බවත් පැවසිය.

මහින්ද රාජපක්ෂ මහතා සහ මෛත්‍රීපාල සිරිසේන මහතා කලින් නයි මුගටි වෛරයෙන් සිටි බවත් වේදිකාවේ දී විවිධ කතා කියමින් බැනගත් බවත් ඔහු සඳහන් කළේය.

මහින්ද මහතා සහ මෛත්‍රීපාල මහතා එසේ එකතු වුවද ගමේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයා සහ පොහොට්ටු පාක්‍ෂිකයන් නයි මුගටි වෛරයෙන් තවදුරටත් සිටින බවත් මන්ත්‍රීවරයා කියා සිටියේය.

පක්ෂයෙන් තමනට බොහෝ අඩු පාඩු සිදු වුවත් තමන් දේශපාලන ගේම් ගසන්නේ නැති බවද මන්ත්‍රීවරයා පැවසීය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top