Jul 12, 2019

හේමසිරිට හා පූජිතට එරෙහි පෙත්සම් සළකා බැලීම කල් යයි

පාස්කු ඉරු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සිය මූලික අයිතීන් උල්ලංඝණය වූ බවට චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහත්වරුන්ට එරෙහිව ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම ලබන 25 වැනිදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

මෙම සිද්ධියට අදාළව විවිධ පාර්ශව විසින් ඉදිරිපත් කර තිබෙන පෙත්සම් 12 ක් අද අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, එල් .ටී.බී. දෙහිදෙණිය සහ මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබුවේය.

තිපති දප්පුල ද ලිවේරා අද පෙත්සම් විභාග වන අවස්ථාවේ පෞද්ගලිකව අධිකරණයේ පෙනී සිටියේය.

එහිදී ඔහු ප්‍රකාශ කළේ එම පෙත්සම්වල පළමු සහ දෙවන වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව පෙනී නොසිටින බවයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අගවිනිසුරුවරයා ප්‍රමුඛ සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණයට විනිසුරු මඩුල්ල නියෝග කළේ පෙත්සම්වලට අදාළ විරෝධතා ඇත්නම් මේ මස 18 වන දින ගොනු කරන ලෙස සහ ප්‍රති විරෝධතා මේ මස 23 වන දිනට ගොනු කරන ලෙසයි.

අනතුරුව පෙත්සම සලකා බැලීම ලබන 25 සහ 26 යන දිනවල සිදුකරන බව ද සත් පුද්ගල විනිසුරු මඩුල්ල නියම කර ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top