Dec 04, 2019

අර්ජුන් ගේන්න කළ ඉල්ලීම ගැන සිංගප්පූරුවේ අවධානය

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා මෙරටට ගෙන්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය මඟින් යොමුකරන ලද ලිපි ලේඛන සිංගප්පූරු  නීතිපති දෙපාර්තමේන්තුව විසින් අධ්‍යයනය කරමින් සිටින බව නීතිපතිවරයා කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට දැනුම් දුන්නේය.
මෙම නඩුව අද (04) සම්පත් අභයකෝන්, සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවේය.

දැනට අධිකරණය මගහැර විදේශගතව සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා උදර්පණ නීතිය යටතේ මෙරටට ගෙන්වා ගැනීම සඳහා ඊට අදාළ ලිපි ලේඛන නීතිපති දෙපාර්තමේන්තුව විසින් සිංගප්පූරු රජය වෙත යොමුකළ බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් පාරින්ද රණසිංහ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේය.

ජෙෆ්රිට රට යන්න අවසර

මෙම නඩුවේ විත්තිකරුවකු ලෙස නම් කර සිටින පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස් මහතාට ජනවාරි මස 6 වැනිදා තෙක් වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා විදේශ ගතවීමට අවසර දෙන්නැයි ඔහුගේ නීතිඥවරයා ඉල්ලීම් කළේය.

එම ඉල්ලීමට ඉඩ දුන් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල රුපියල් ලක්ෂ 25 ක් බැගින් වූ පුද්ගලික ඇප දෙකක් මත අධිකරණය භාරයේ රඳවා තිබෙන ඇලෝසියස් මහතාගේ  විදේශ ගමන් බලපත්‍රය මුදාහැරීමට නියම කළ අතර එම ශරීර අපකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු රජයේ විධායක නිලධාරීයෙකු විය යුතු බවත් අනෙක් ඇපකරු පවුලේ ලඟම ඥාතියෙකු විය බවටත් නියෝග කළා.

ඒ අනුව නඩුව නැවත මාර්තු මස 31 වැනිදා කැදවීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියම කළේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top