Feb 25, 2020

චමල්ට මරණ තර්ජනය කළැයි රාජිත රිමාන්ඩ් කරයි

රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාට මරණීය තර්ජනය කරමින් අමාත්‍යවරයාගේ ජංගම දුරකථනයට කෙටි පණිවිඩයක් යොමු කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු මේ මස 06 වැනිදා දක්වා රක්ෂිතබන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් නේරංජනා ද සිල්වා මහත්මිය නියම කළාය.

සැකකරු අත්අඩංගුවට ගෙන පැය 72ක කාලයක් රැඳවුම් නියෝග මත විමර්ශන කිරීමෙන් අනතුරුව සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි.

මෙසේ රක්ෂිතබන්ධනාගාරගත කළේ සිලගම බලංගොඩ පදිංචි විජේනායක කංකානම්ලාගේ රාජිත නැමැත්තෙකි.

රාජ්‍ය නිලධාරීන්ගේ හා රාජ්‍ය නායකයන්ගේ තොරතුරු රහසිගතව සොයමින් තර්ජනාත්මක කෙටි පණිවිඩ යොමු කිරීමේ චෝදනාව මත සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි.

සිද්ධියට අදාළව රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත කළ පැමිණිල්ලකට අනුව එම කොටිඨාසය ජංගම දුරකථන වාර්තා කැඳවා සැකකරු සම්බන්ධ කරුණු අනාවරණය කර ගැනීමෙන් අනතුරුව ඔහු ඉකුත් 20 වැනිදා අත්අඩංගුවට ගෙන පැය 72ක කාලයක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව රැඳවුම් නියෝග මත රඳවා සැකකරුගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඊයේ (24) අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top