Feb 25, 2020

බොරළුගොඩ සිංහ පැටියා අද ජිනීවා යයි !

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 43 වැනි සැසිවාරය සදහා සහභාගී වීමට විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (25) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.

ඔහු සමග රාජ්‍ය අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සහ විදේශ අමාත්‍යාංශයේ නියෝජිතයන් පිරිසක් මෙවර සැසිවාරයට එක්වේ.

නිළ මට්ටමේ සාකච්ඡා කිහිපයක් සඳහා විදේශ අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආරියසිංහ මහතා මානව හිමිකම් කවුන්සිල සැසිවාරය ආරම්භවීමට දින කිහිපයකට පෙර ස්විට්සර්ලන්තය බලා පිටත්ව ගිය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබිණි.

ඔහු මානව හිමිකම් කවුන්සිලයේ සභාපතිනිය හමුවී සාකච්ඡාවක්ද පවත්වා තිබිණි.

විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හෙට දිනයේදී මානව හිමිකම් කවුන්සිල සැසිවාරය ඇමතීමට නියමිතය.

එහිදී 30-1 සහ 40-1 යෝජනාවලින් ඉවත්වීමට රජය ගත් තීරණය ඔහු එහිදී කවුන්සිලයට නිල වශයෙන් දැනුම්දීමට නියමිතය.

දිනේෂ්, වාමාංශික ට්‍රොට්ස්කිවාදය ලංකාවට හඳුන්වා දුන් පඨාකයාවන වන පිලිප් ගුණවර්ධන මහතා හා කුසුමාසිරි ගුණවර්ධන මහත්මියගේ පුත්‍රරත්නයයි. පිලිප් ගුණවර්ධන මහතා පොදුජනතාව අතර ප්‍රචලිතව ඇත්තේ බොරළුගොඩ සිංහයා ලෙසිනි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top