Jun 03, 2020

අලුතින් ජනාධිපති කාර්ය සාධක බලකා 2ක්: දෙකේම සභාපති කමල්

නැගෙනහිර පළාතේ පුරා විද්‍යාත්මක උරුම කළමනාකරණය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය හා සුරක්ෂිත රටක්, විනය ගරුක, ගුණ ගරුක හා නීති ගරුක සමාජයක් ගොඩ නැගීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය ලෙස ජනාධිපති කාර්ය සාධක බලකා දෙකක් පත්කර තිබේ.

ඒ, ජනාධිපතිතුමා නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදන මගිනි.

මේ කාර්ය සාධක බලකා දෙකේම සභාපතිවරයා ලෙස පත්කර ඇත්තේ ආරක්ෂක ලේකම් මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතාය.

නැගෙනහිර පළාතේ පුරා විද්‍යාත්මක උරුම කළමනාකරණය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායට පුරා විද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමි, උතුර නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන සංඝනායක පනාමුරේ තිලකවංශ හිමි ඇතුළු සාමාජිකයින් 11 දෙනෙකු එම කාර්ය සාධක බලකායට අයත් වේ.

මීට අමතරව පුරා විද්‍යා අධ්‍යාක්ෂ ජනරාල්වරයා, මැනුම්පතිවරයා හා ඉඩම් කොමසාරිස් ජනරාල්වරිය ද කාර්ය සාධක බලකායට ඇතුළත් ය.

නැගෙනහිර පළාතේ පුරා විද්‍යාත්මක වටිනාකමක් සහිත ස්ථාන හඳුනා ගැනීම හා ඒවා සංරක්ෂණය කිරීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීම මෙම කාර්ය සාධක බලකායට පවරා තිබේ.

මීට අමතරව සුරක්ෂිත රටක්, විනය ගරුක, ගුණ ගරුක හා නීති ගරුක සමාජයක් ගොඩ නැගීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායට සාමාජිකයින් 13 දෙනෙකු ඇතුළත් ය.

එම කාර්ය සාධක බලකායට ත්‍රිවිධ හමුදාපතිවරුන්, වැඩබලන පොලිස්පතිවරයා, ජාතික බුද්ධි ප්‍රධානියා, රේගු අධ්‍යක්ෂ ජනාරාල්වරයා ඇතුළු පිරිසක් ද එහි සාමාජිකයින් ලෙස නම් කර ඇත.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top