Sep 15, 2020

බස් මංතීරුවේ අලුත් නීතියට බස් හිමියන්ගේ විරෝධය

හෙට සිට බස්රථ මංතීරුවේ ත්‍රිරෝද රථ සහ යතුරුපැදි ගමන් කළ යුතු බවට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය විරෝධය පළ කර තිබේ.

අද(15) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසා සිටියේ බස් රථ මංතීරුව ගැසට් කර තිබියදී එහි ත්‍රිරෝද රථ සහ යතුරුපැදි ගමන් කිරීම නීතිවිරෝධී බවත්, රටේ පවතින නීතිරීතී පොලීසිය විසින් ම කඩකිරීමට එරෙහිව ඉදිරියේදි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත්ය.

මෙම තීරණය හකුළා ගැනීමට පොලීසිය කටයුතු නොකළහොත් සියලුම පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බවද විජේරත්න මහතා සඳහන් කළේය.

ත්‍රීරෝද රථයක උපරිම වේගය පැයට කිලෝමිටර් 40ක්ව තිබියදී මගීන් 60ක් 70ක් ගෙනයන බස්රථයක් එය පිටුපසින් ධාවනය කිරීම බරපතල ගැටලුවක් වී ඇතැයිද ඒ මහතා කීය.

මෙම මංතීරු නීතිය හේතුවෙන් යතුරු පැදිකරුවන් අනතුරට ලක්වීමේ අවදානමක් තිබෙන බවත් යම් අනතුරක් සිදුවුවහොත් එහි වගකීම පොලීසිය භාර ගන්නේදැයි තමන් ප්‍රශ්න කර සිටින බවද විජේරත්න මහතා පැවසීය. මං තීරු දෙකක් පමණක් ඇති ඇතැම් මාර්ගවල මංතීරු නීතිය ක්‍රියාත්මක කිරීම කිසිසේත්ම ප්‍රායෝගික නොවන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

මංතීරු නීතියේ පවතින ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමට පොලීසිය, ප්‍රවාහන සංගම් ඇතුලු සියලුම පිරිස සාකච්ඡාවක් සඳහා කැඳවන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් විජේරත්න මහතා පැවසීය.

සබැඳි පුවත් :

බස්, ත්‍රීරෝද රථ හා යතුරුපැදි එකම මංතීරුවක

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top