Sep 17, 2020

නිවි නිවි ඇවුලුණු නැවට රජය කෝටි 34ක් වැය කරලා Featured

නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න නිවීමට ශ්‍රී ලංකා රජය ඊයේ (16) වන විට රුපියල් ලක්ෂ 3400ක පිරිවැයක් දරා ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශය නීතිපතිවරයාට වාර්තාවක් දී තිබේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව හා නාවික හමුදාවට මෙහිදී වැඩිම වියදම දරන්නට සිදුවී ඇති බව සංඛ්‍යාලේඛනවලින් පෙන්වා දී ඇත.

නාවික හමුදාවට අයත් නෞකා හතරක්, වේග ප්‍රහාරක යාත්‍රා 02ක්, ඩෝරා යාත්‍රා තුනක් නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න ඇතිවූ ඉකුත් 03 දා සිට මෙහෙයුමට යොදා ඇත.

ඊයේ (16) වන විටත් නෞකා දෙකක් එම ප්‍රදේශයට නිරීක්ෂණ කටයුතු සඳහා යොදවා තිබූ බව නාවික හමුදාපති අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා මාධ්‍යට පවසා ඇත.

නාවික හමුදාවේ සම්පූර්ණ වියදම ගණන් බලා අවසන් නොමැති බවද නාවික හමුදාපතිවරයා සඳහන් කළේය.

දැනට සම්පූර්ණ වියදම ලෙස ගණන් බලා ඇති ලක්ෂ 3400ක් වැඩිපුරම වියදම නාවික හමුදා මෙහෙයුම්වලට ගොස් ඇති බව කියයි.

ගුවන් හමුදාව මගින් මෙතෙක් කළ වියදම ආරක්ෂක අමාත්‍යාංශය වෙත ලබාදුන් බවත්, මේ වන විට නෞකාවේ ගින්නට අදාළ එම ප්‍රදේශයේ ගුවන් මෙහෙයුම් අවසන් කර ඇති බවත් ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල මහතා කියා සිටී.

මෙහෙයුමට ගුවන් පැය 100යි : වැඩි පාඩුව නාවික හමුදාවට

ගුවන් හමුදාව ගුවන් මෙහෙයුම් 176කින් ජලය ලීටර් හාරලක්ෂ හතළිස් දහසක් හා රසායනික පවුඩර් කිලෝග්‍රෑම් 4500ක් යොදා මෙහෙයුමට එක්වූ බව ගුවන් හමුදාව කියයි. 

ගුවන් පැය සියයක් වැය කරමින් බෙල් 212 හා එම්. අයි 17 හෙලිකොප්ටර් යානා දෙකක්, වයි - 12 හා බීච් කාෆ්‍ර්ට් නිරීක්ෂණ යාත්‍රාවක් සමස්ත මෙහෙයුමට යොදවා තිබිණි.

මීට අමතරව වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් නාවික යාත්‍රා දෙකක්, හා වරාය අධිකාරියට හා කොළඹ ඩොක්යාඩ් සමාගමට අයත් ටග් යාත්‍රා යෙදවීමට ගිය වියදමද මුළු වියදමට එක්කර ඇත.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට ගිය වියදමද මෙහිදී එකතු කර ඇත.

මෙම සමස්ත වියදම ආරක්ෂක අමාත්‍යාංශයට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මාර්ගයෙන් නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර තිබිණි.

නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න නිවීමට දැක්වූ සහාය සහ ඊට අදාළ කටයුතුවලට දැරූ වියදම ලක්ෂ 3400 හානි පූර්ණය කිරීම සඳහා නෞකාවේ හිමිකරුවන්ට හිමිකම් ඉල්ලීමක් නීතිපතිවරයා ලිඛිතව ඉදිරිපත් කළ බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසීය.

එම නෞකා සමාගමේ නීතිඥවරුන් වෙත මෙම මුදල අයකර ගැනීම සඳහා හිමිකම් ඉල්ලීම ලිඛිතව ඉදිරිපත් කළ බව ඇය පවසයි.

සබැඳි පුවත්

ගිනිගත් නැවේ වන්දිය ගන්න සිංගප්පූරු සමාගමක් මාන බලයි

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top