Oct 29, 2020

ටයිම්ස්හි අයකුට කොරෝනා: විජය පුවත්පත් කාර්යාලය වසා විෂබීජහරණය කරයි

ද සන්ඩේ ටයිම්ස් පුවත්පතේ මාධ්‍යවේදියෙකුට Covid-19 ආසාධනය වී ඇති බවට තහවුරු වී ඇති බව එම පුවත්පත සඳහන් කරයි.

අදාළ මාධ්‍යවේදියා එම පුවත්පතේ පාර්ලිමේන්තු කටයුතු වාර්තාකරුවෙකු ලෙස සේවය කළ අයෙකි.

කෙසේවුවද, පසුගිය දින කිහිපයේදී ඔහු සේවයට වාර්තා නොකොට නිවසේ සිටියදී ස්ව කැමැත්තෙන් සිදු කළ පී.සී.ආර් පරීක්ෂණයකට අනුව ඔහුට මෙම රෝගය වැළඳී ඇති බව තහවුරු වී තිබේ.

පූර්ව ආරක්ෂිත පියවරක් ලෙස කාර්යාල සංකීර්ණය වසා දමා විෂබීජහරණය කිරීමට විජය පුවත්පත් සමාගමේ කළමනාකාරීත්වය පියවර ගෙන ඇතැයි ද වාර්තා වේ.

‘ද සන්ඩේ ටයිම්ස්’ පුවත්පතේ බොහෝදෙනා පසුගිය මාසයේ සිට සිය නිවෙස්වල සිටිමින් රාජකාරීවල නිරත වන අතර, සීමිත දින ගණනකදී කාර්යාලයේ සිට සේවය කරන සියලු දෙනා ද අත්සේදීම, විෂබීජහරණය යනාදියට අමතරව මුඛ ආවරණ පැලඳීම සහ කායික දුරස්ථභාවය පිළිපැදීම යන දැඩි සෞඛ්‍යාරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරන බවද විජය පුවත්පත් සමාගම කියයි.

එම මුද්‍රාණාලය සහ බෙදාහැරීමේ මධ්‍යස්ථානය පිහිටා ඇත්තේ හෝකන්දර වන අතර, එම කාර්යාලය කොළඹ කර්තෘමණ්ඩල හා සම්බන්ධ වන්නේ අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ බවද පැවසේ.

පුවත්පත් මුද්‍රණ කටයුතු සහ බෙදාහැරීම සිදුවන්නේ ලොව පිළිගත් සහ කීර්තිමත් පුවත්පත් මුද්‍රණය කෙරෙන ජාත්‍යන්තර ආරක්ෂිත තත්ත්ව හා පිළිවෙත්වලට අනුව බව ද එම සමාගම නිවේදනය කරයි.

Times Press RE

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top