Jan 24, 2021

ජොනී සිරි නැරඹුවට වැඩ ලේට් බව දිස්ත්‍රික් කමිටු මන්ත්‍රීලා ජනපතිට කියයි

Update - ග්‍රාමීය මාර්ග කාපට් ඇතිරීමේ ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ මාර්ග පිළිසකර කිරීමේ වැඩසටහනට වසරක් ගතව ඇතත් කොන්ත්‍රාත්කරුවන් විසින් මෙතෙක් එම වැඩ ආරම්භ කර නොමැති බවට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ජනපතිවරයා හමුවී දැනුවත් කර ඇතැයි වාර්තා වේ.

මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නීරීක්ෂණ චාරිකා සිදුකරමින් ඒවා මාධ්‍යයේ පල කරමින් සිටීම හැර ඉදිකිරීම් කටයුතු ක්‍රමවත්ව කරගෙනයාමේ වැඩ පිළිවෙලකට මෙතෙක් ප්‍රවේශ වී නැති බවට ද එහිදී චෝදනා එල්ලවී තිබේ.

මෙම මාර්ග පිළිසකර කිරීමට භාරගත් කොන්ත්‍රාත්කරුවන් මූලික වැඩ ආරම්භ කිරීම සඳහා කොන්ත්‍රාත් මුදලෙන් සියට 20%ක අත්තිකාරම් මුදලක්ද ලබාගෙන ඇති බව ද එහිදී හෙළිව ඇත.

මාර්ග කිලෝමීටර් ලක්ෂයක් කාපට් කිරීමේ ව්‍යාපෘතියට පෙර ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කිරීමෙන් පසු ආරම්භ කළ මාර්ගද මෙසේ වැඩ අවසන් කර නොමැති බව සඳහන් වේ.

බදුල්ල, පොළොන්නරුව, මොනරාගල මෙන්ම රටපුරා දිස්ත්‍රික්ක බොහොමයක මෙසේ එම මාර්ග පිළිසකර කිරීමේ වැඩ අවසන් නොවීම නිසා එම ප්‍රදේශවල ජනතාව දැඩි දුෂ්කරතාවට පත්ව සිටින බවද පැවසේ.

වැඩ ආරම්භ කළ බව හැඟවීමට බොරළු, කළුගල් ආදිය මෙන්ම මාර්ග දෙපස කාණු කපා ඇති නිසා අනතුරුද බහුලව සිදුවන බව ගම්වාසීන් පෙන්වා දෙන්නේ යැයිද දිස්ත්‍රික් කමිටු සාමාජිකයන් ජනපතිවරයාට පෙන්වා දී ඇත.

මේ අතර, පොළොන්නරු දිස්ත්‍රික් සම්බන්ධීකරණ කම්ටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි අමරකීර්ති අතුකෝරල මහතා අරුණ පුවත්පත වෙත පවසා ඇත්තේ පොළොන්නරුවේ මුලින්ම කාර්පට් ඇතිරීම ආරම්භ කළ කිලෝමීටර් හත හමාරක නවනගරයේ ජයසිරිපුර - සරුබිම මාර්ගය මේ වනතෙක් වැඩ අවසන් කර නොමැති බවයි.

-----(අවසන් යවත්කාලීන කිරීම -Sunday, 24 January 2021 08:12)

වැඩකරන්න බැරි නම් මාර්ග සංවර්ධන අධිකාරියට භාර දෙන්න - ජොනී

මේ අතර, "අතිගරු ජනාධිපතිතුමන් අම්පාර උහන ලාහුගල ගම්මානයේදී පසුගියදා පැවති “ගම සමග පිළිසදර” වැඩසටහනේදී අම්පාර ලාහුගල මාර්ගයේ වැඩ කඩිනමින් අවසන් කිරිමට උපදෙස් දෙනු ලැබූවා. එමෙන්ම ලාහුගල, බොක්කබැද්ද, ඇතුල් ඔය දක්වා මාර්ගයේත් බක්මිටියාව, පත්තල්ගම මහඔය, කුරුදුවින්න මාර්ග වල සංවර්ධන කටයුතු පෞද්ගලිකවම ගොස් සොයා බලා ඒවා කඩිනමින් අවසන් කරන ලෙස අතිගරු ජනාධිපතිතුමා මාහට උපදෙස් ලබා දුන්නා. නැගෙනහිර පළාතේ I-Road මාර්ග සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගතිය සතුටුදායක මටිටමක නැහැ. කිලෝමීටරයකටවත් වඩා අඩු පාරවල් හදන්න අවුරුදු එකහාමාරකටත් වඩා ගත වෙලා. මිනිස්සු හිතන්නේ අපි වැඩ කරන්නේ නැහැ කියලා. ඔයගොල්ලෝ වැඩ කරන්නේ නැති උනහම ජනතාවගෙන් බැණුම් අහන්නේ අපි. වැඩකරන්න බැරි නම් මාර්ග සංවර්ධන අධිකාරියට භාර දෙන්න යැයි ”  මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා  පසුගිය 21 වැනිදා නැගෙනහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සමග මහාමාර්ග අමාත්‍යාංශයේ ශ්‍රාවණාගාරයේ පැවැති නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක මාර්ග සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගති සමාලෝචන රැස්වීමේදී කොන්ත්‍රාත්කරුවන්ට පැවසූ බව එම අමාත්‍යංශයේ මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.

රාමීය මාර්ග කිලෝමීටර් ලක්ෂයක් සංවර්ධනය කිරිමේ වැඩසටහන යටතේ නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ පමනක් ග්‍රාමීය මාර්ග කිලෝමීටර් 1150ක් සංවර්ධනය කිරිමට අපි බලාපොරොත්තු  වන බවත්, මෙම ග්‍රාමීය මාර්ග ඉදිකිරිම සදහා කොන්ත්‍රාත් පිරිනැමීමේදී නියමිත දිනට වගකීමෙන් යුතුව ඉදිකිරිම් කටයුතු අවසන් කල හැකි ඉදිකිරිම් සමාගම් වලට පමනක් කොන්ත්‍රාත් පවරන ලෙසට තමාට ජනපතිවරයා උපදෙස් දුන් බවද එහි වැඩිදුරටත් දැක්වේ.

නිවුස් ෆස්ට් ද මේ ව්‍යාපෘතියේ ප්‍රමාදය හා එහි කොන්ත්‍රාත් කරුවන්ගේ ප්‍රමිතියෙන් තොර ඉදිකිරීම් සම්බන්ධයෙන් පෙන්වා දී තිබිණි.

එය පහත දැක්වේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top