Feb 24, 2021

චීන - පකිස්ථානු ආර්ථික කොරිඩෝව හරහා ලංකාවේ සම්බන්ධතා ශක්තිමත් කරන බව ඉම්රාන් කියයි Featured

 වීඩියෝ | චීන – පකිස්ථානු ආර්ථික කොරිඩෝව (CPEC) හරහා මධ්‍යම ආසියාව සමග ශ්‍රී ලංකාවේ සම්බන්ධතාවය ශක්තිමත් කිරීමට අදහස් කරන බව මෙරට සංචාරයක නිරත වන පකිස්ථානු අගමැති ඉම්රාන් ඛාන් මහතා පවසයි.

ඔහු මේ පැවසුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග ඊයේ (24) අරලියගහ මන්දිරයේදී පැවති ද්වීපාර්ශවික සාකච්ඡාවලින් අනතුරුව පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවේදීය.

CPEC යනු චීනයේ එක් තීරයක් හා එක් මාවතක් (BRI - Belt and Road Initiative) වැඩසටහනේ ප්‍රධාන කොටසක් බවත්, ඉන් අදහස් කෙරෙන්නේ සම්බන්ධතාවන් බවත් ඔහු මෙහිදී පැවසීය.

"එබැවින්, මම මෙහි මගේ ධූත පිරිසට පවසා සිටියේ ශ්‍රී ලංකාව සඳහා... මධ්‍යම ආසියාව දක්වාම... අප වෙළඳ හා සම්බන්ධතාවයන් වැඩි දියුණු කළ හැකි ක්‍රම සහ මාර්ග සොයා ගන්නා ලෙසයි ... අපගේ වෙළඳ සබඳතා වැඩිදියුණු කළ හැකි වෙනත් අංශ පිළිබඳවද අප සාකච්ඡා කළා," යැයි හෙතෙම පැවසීය.

වෙළඳ සබඳතා මගින් දෙරට වඩාත් එකිනෙකට සමීප වනු ඇතැයි ද ඛාන් අගමැතිවරයා පැවසීය.

මෙම සංචාරය අරමුණ දෙරට අතර ද්විපාර්ශ්වික සහ වෙළඳ සබඳතා ශක්තිමත් කිරීම බවත්, අනාගතයේදී යළිත් සිය රට තුළ සංචාරයක් සඳහා පැමිණෙන ලෙස ශ්‍රී ලංකා අගමැතිවරයා හට ආරාධනා කර සිටින බවත්, ඔහු මෙහිදී වැඩිදුරටත් පැවසීය.

මෙම මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ පාකිස්ථානය සමීප හා අව්‍යාජ මිතුරෙකු ලෙස ශ්‍රී ලංකාව විසින් සලකනු ලබන බවයි.

ආයෝජන සහ වාණිජ හවුල්කාරිත්වයන් පිළිබඳ සුබවාදී ලකුණු පෙන්වමින් විවිධ අංශ වලින් සමන්විත ශක්තිමත් ව්‍යාපාරික දූත පිරිසක් සමඟ පැමිණීම පිළිබඳව ඔහු පාකිස්ථානු අගමැතිවරයා හට ස්තූතිය පුද කළේය.

ආර්ථික අවිනිශ්චිතතාවයකදී මෙවැනි පෞද්ගලික අංශයේ ආයෝජන දෙරටෙහිම ආර්ථිකයන් හට බෙහෙවින් ඉවහල් වනු ඇතැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

පාකිස්ථානු-ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරුන්ගේ ඒකාබද්ධ මාධ්‍ය හමුවේ සම්පූර්ණ වීඩියෝව පහත දැක්වේ.

(වීඩියෝ දසුන් : අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය) 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top