Sep 15, 2021

බන්ධනාගාරෙන් අස්වුනත් ලොහාන් තවමත් රාජ්‍ය ඇමති! (Update) Featured

ලොහාන් රත්වත්තේ බන්ධනාගාර කළමනාකරණය සහ සිරකරුවන්ගේ පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.
 

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පවසා ඇත්තේ රාජ්‍ය අමාත්‍යවරයා විසින් ජනාධිපතිවරයා වෙත යොමු කර ඉල්ලා අස්වීම, ජනාධිපතිවරයා විසින් භාරගෙන ඇතිබවයි.

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ වැලිකඩ හා අනුරාධපුර බන්ධනාගාර පරිශ්‍රයන්හි දී තමා වෙතින් සිදුවූ සිද්ධීන්ට අදාළව වගකීම් බාරගනිමින් ලොහාන් රත්වත්තේ මහතා අදාළ ධූරයෙන් ඉල්ලා අස්වන බව දක්වා ඇතත් රත්වත්තේ මහතාගේ ලිපියේ එම වගකීම් බාර ගන්නා බවක් දක්වා නොමැත.
 
අස්වුනත් තවමත් රාජ්‍ය ඇමති!
කෙසේවෙතත්, මෙම නිවේදන දෙකටම අනුව ලොහාන් රත්වත්තේ ඉවත් වී ඇත්තේ බන්ධනාගාර කළමනාකරණය සහ සිරකරුවන්ගේ පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් පමණී.
 
මීට අමතරව ඔහු මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධූරයද දරණු ලබයි.
 
ඒ අනුව, ඔහු තවදුරටත් මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ඇති බව පැවසේ.
 
රත්වත්තේ මුලින්ම පත්කර තිබුණේ මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි. ඔහුව බන්ධනාගාර කළමනාකරණය සහ සිරකරුවන්ගේ පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කරනු ලැබුවේ කලින් එම ධූරය හෙබවූ වෛද්‍ය සුදර්ශිනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ COVID-19 රෝග පාලන රාජ්‍ය අමාත්‍යවරිය ලෙස පත්කිරීමෙන් අනතුරුවයි.

අගමැති ඉතාලියේ සිට අමතලා!
මීට සුළු මොහොතකට පෙර 'ඩේලි මිරර්'  වාර්තා කර තිබුණේ සිය ධූරයෙන් ඉල්ලා අස්වෙන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා, රත්වත්තේ හට පවසා ඇති බවයි.

මේ වන විට ඉතාලියේ සිටින අගමැති මහින්ද රාජපක්ෂ මහතා, දුරකතන ඇමතුමක් ලබාදෙමින් මේ බව පැවසූ බවත්, ඔහු පසුව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාටද දුරකතන ඇමතුමක් ලබාදී ඇති බවත් එහි දැක්වුණි.

රත්වත්තේ හට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදුකරන ලෙසද අගමැතිවරයා නියෝග කර ඇති බව 'ඩේලි මිරර්' වැඩිදුරටත් වාර්තා කර තිබුණි.

සබැඳි පුවත්
සිරකරුවන්ගේ අයිතීන් සුරැකීම රජයේ යුතුකමක් - හැනා සිංගර්

නමක් ගමක් නැති ඇමැතිකෙනෙක් අස්කරන්නැයි සජිත් ජනපතිට කියයි!

රත්වත්තේ මහතාගේ ඉල්ලා අස්වීම

Rathwatte Letterජනාධිපති මාධ්‍ය අංශයේ නිවේදනය.

PMD Rathwatte

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top