Jun 23, 2022

ස්තූතියි ඔසී

සංචාරක ඔස්ට්‍රේලියාව සහ ‍ශ්‍රී ලංකාව අතර හෙට (24) ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අවසන් එක්දින තරගයට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ප්‍රධාන වර්ණය ලෙස සැලකෙන කහ පැහැති ඇඳුමින් සැරසී පැමිණෙන ලෙසට ප්‍රේක්‍ෂකයින් උනන්දු කරවන සමාජ ජාල සටහන් මේ වන විට අන්තර්ජාලය ඔස්සේ පළවෙමින් තිබේ.

ඒ, ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණ දෙමින් තිබෙන දැඩි ආර්ථික අර්බුදය හමුවේ, රටපුරා විවිධ ස්ථාන වල සිවිල් අර්බුද ඇතිවෙමින් තිබියදී පවා පූර්ණ තරගාවලියක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලයට සහ ක්‍රීඩකයින්ට කෘතඥතාව පළ කිරීම උදෙසාය.

ඔවුන්ට කෘතඥතාවය පළ කරන පුවරුද රැගෙන මෙම තරගය නැරඹීමට පැමිණෙන ලෙස සමාජ මාධ්‍ය ජාල සටහන් වලින් ප්‍රේක්ෂකයින් දිරිගන්වා ඇත. පසුගිය තරග පුරාවටම ප්‍රේක්ෂකයින් ශ්‍රී ලංකාවට පැමිණීමට කෘතඥතාව පල කිරීම උදෙසා විවිධ පුවරු ප්‍රදර්ශනය කරන අයුරු දැක ගන්නට ලැබුණි.

මෙතරම් දරුණු අර්බුදකාරී සමයකදී ලංකාවේ සංචාරය කිරීමේ සදාචාරාත්මක බව පිළිබඳව ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් සංචාරය ආරම්භ කිරීමට පෙර ප්‍රශ්ණ කර තිබුණද, සංචාරය පැවැත්වීමට එරට නිලධාරීන් විසින් ගත් තීරණයටද ඔවුන් එකඟවූයේ මෑත කාලයේ ආසියාවේ පැවති පූර්ණ තරගාවලියකට එක්වූ විශිෂ්ඨතම ඕස්ට්‍රේලියානු ක්‍රීඩක සහභාගීත්වයක්ද සමගිනි. එබැවින් මෙම සංචාරය ශ්‍රී ලංකාවට වැදගත් වූයේ ආර්ථික වශයෙන්ම පමණක් නොවේ.

එමෙන්ම පසුගියදා ටිවිටර් ඔස්සේ සංචාරක ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයින් වන ස්ටීව් ස්මිත් සහ මිචෙල් ස්ටාක් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය පිළිබඳව දැනුවත් කරමින් වීඩියෝ පණිවිඩ නිකුත් කර තිබුණි.

එමගින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම සහ රාජ්‍ය නොවන සංවිධාන සමඟ එක්ව සංවිධානය කර ඇති අරමුදල් තර කිරීමේ වැඩසටහනට සහාය ලබාදෙන ලෙස ඔවුන් මෙලෙස ලොව පුරා සිටින ඔවුන්ගේ ප්‍රේක්ෂකයින්ගෙන් එම ඉල්ලීම කර තිබුණි.

එම අරමුදල් රැස්කිරීමේ වැඩසටහන ජුනි මස සිට ආරම්භ කළ අතර එළඹෙන සැප්තැම්බර් මාසය වනවිට අමෙරිකානු ඩොලර් මිලියන 47.2ක් එකතුකරගැනීම එහි අරමුණ වේ.

පසුගිය 14 වැනිදායින් ආරම්භ වුණු තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය, ඉතා තියුණු තරගයකින් පසුව ජයගැනීමට ශ්‍රී ලංකාව පසුගිය සඳුදා (21දා) සමත් විය.

සබැඳි පුවත් :

ශ්‍රී ලංකාවට උදව් කරන්න ස්ටාක් - ස්මිත් ලෝකයෙන් ඉල්ලයි

AustralianCF1 670px 22 03 23AustralianCF2 670px 22 03 23AustralianCF3 670px 22 03 23AustralianCF4 670px 22 03 23AustralianCF5 670px 22 03 23AustralianCF6 670px 22 03 23AustralianCF7 670px 22 03 23AustralianCF8 670px 22 03 23AustralianCF9 670px 22 03 23

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top