Aug 11, 2022

හිටපු ජනපති තායිලන්තයේ තියාගන්නා බව එරට අගමැති කියයි Featured

වෙනත් රටක ස්ථීර රැකවරණය ලබා ගන්නාතෙක් ශ්‍රී ලංකා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තාවකාලිකව තායිලන්තයේ රැඳී සිටිනු ඇති බව එරට අග්‍රාමාත්‍ය Prayut Chan-o-cha ප්‍රකාශ කර ඇත.

මේ අතර විදෙස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ සිංගප්පූරුවේ රැදී සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (11) දිනයේ තායිලන්තය වෙත පිටත්ව යාමට නියමිත බවය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තායිලන්ත රජයෙන් සිදුකළ ඉල්ලීමකට අනුව ඔහුට ඒ සදහා අවසර ලබා දි ඇති බව තායිලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශය මීට පෙර ප්‍රකාශ කර තිබුණි.

මාලදිවයිනේ සිට පසුගිය මස 14 වැනිදා සිංගප්පුරුව බලා පිටත්ව ගිය ගෝඨාභය රාජපක්ෂ මහතාට එරට තුළ රැදී සිටීමට අද දිනය දක්වා අවසර ලබාදීමට සිංගප්පූරු බලධාරීන් කටයුතු කර තිබුණි.

ඒ අනුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද දිනයේ තායිලන්තය බලා පිටත්ව යනු ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබිණි.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් තායිලන්ත විදේශ අමාත්‍යාංශය සදහන් කළේ දෙරට අතර දීර්ඝ කාලීන සබදතා සැලකිල්ලට ගෙන ගෝඨාභය රාජපක්ෂ මහතාට තායිලන්තයට පැමිණීමට අවසර ලබා දී ඇති බවය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top