Sep 23, 2022

අකරවිට බැංකු සේවකයා මැරූ යුවල හඳුනාගනියි!

ගම්පහ ජාඇළ පාරේ අකරවිටදී බැංකු සේවිකාවගේ අත් බෑගයක් කොල්ලකෑමට ගත් උත්සාහයක් වැළැක්වීමට ගිය ඇගේ සැමියා වන බැංකු සේවකයකුට පිහියෙන් ඇන පලාගිය යුවළ හඳුනා ගැනීමට පොලිසිය සමත්ව ඇත.

ගණේමුල්ලේ පදිංචිව සිටින ඔවුන් කොටුගොඩ ප්‍රදේශයේ ගැවසෙන මත්කුඩු භාවිතයට තදින්ම ඇබ්බැහිවී සිටින්නන් බව පොලිසියට ලැබී ඇති තොරතුරුවල සඳහන්ය.

මේ අපරාධය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමටත් එම යුවළ අත්අඩංගුවට ගැනීමටත් පොලිස් කණ්ඩායම් තුනක් මේ වන විට පත් කර ඇතැයි වාර්තා වේ.

පොලිස් කණ්ඩායම් දෙකක් ක්‍රියාත්මක වන්නේ ගම්පහ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රෝහණ ගමගේ මහතාගේ ඍජු අධීක්ෂණයෙන් බවද පැවසේ.

ඒ සඳහා ගම්පහ පොලිසියේ අපරාධ අංශයේ කණ්ඩායමක් සහ ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ කණ්ඩායමක් යොදාගෙන තිබේ.

තුන්වැනි කණ්ඩායම යොදවා ඇත්තේ බස්නාහිර පළාත් උතුරු දිසා නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතාගේ අධීක්ෂණයෙනි.

ඒ බස්නාහිර පළාත් උතුරු දිසා අපරධ කොට්ඨාසයේ කණ්ඩායමකි.

මේ කණ්ඩායම් තුනම මේ වන විට ගණේමුල්ල, මාකිලන්ගමුව, කොටුගොඩ, සීදූව යන ප්‍රදේශවල සැරිසරමින් මේ යුවළ සොයා මෙහෙයුම් ආරම්භ කර තිබේ.

ඒ සඳහා ආරක්ෂක කැමරා දර්ශනවල ඇති මේ යුවළගේ ඡායාරූප ද පොලිසිය ඉවහල් කර ගනිමින් සිටිති.

ඝාතනයෙන් පසු මේ යුවළ අතහැරදමා ගිය යතුරු පැදිය ද ඊට දින හතරකට පෙර සොරාගත් එකක් බවද විමර්ශනවලින් අනාවරණය වී ඇත.

අත්බෑගය කොල්ලකෑමේ තැත ව්‍යාර්ථවීමෙන් පසු පිහියෙන් ඇන බැංකු සේවකයාව ඝාතනය කර එම යුවළ අසල වෙල්යායට පැන පලාගොස් ඇත්තේ ද ගණේමුල්ල දෙසට බවට තොරතුරු ද පොලිසියට ලැබී තිබේ.

මේ යුවළ යතුරු පැදිවලින් සැරිසරමින් කාන්තාවන්ගේ ගෙල බැඳි රන් මාල සහ අත්බෑග් කොල්ලකෑම් රැසක් පසුගිය දිනවල කර ඇති බවද විමර්ශනවලින් පෙනී ගොස් ඇත.

මත්කුඩු පානය කිරීමට මුදල් සොයා ගැනීමට මෙසේ ඔවුන් කොල්ලකෑම්වල නිරතව සිටින බවද විමර්ශනවලින් පෙනී ගොස් තිබේ.

මේ යුවළ අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔවුන් විසින් කළ අපරාධ බොහෝමයක් හෙළි කර ගැනීමට හැකි වනු ඇති බව පොලිසිය විශ්වාස කරයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top