Sep 23, 2022

සංචාරක සංවර්ධන අධිකාරිය යළිත් ඉන්දියාවේ ජෝගියක් නටන්න යයි! Featured

සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට යැයි කියමින් සනත් ජයසූරිය සහ යොහානිද සිල්වා වැනි ජනප්‍රිය තරු සහභාගි කරවා කරගනිමින් ප්‍රසංග මාලාවක් පැවැත්වීමට ශ්‍රී ලංකා සංචාරක අධිකාරිය සැලැසුම් කර ඇතැයි වාර්තා වේ.

පෙර අත්දැකීම් අනුව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය මෙලෙස සිදුකරන ලද කිසිදු ප්‍රවර්ධන වැඩසටහනකින් මෙරට සංචාරකයින් ගෙන්වා ගැනීම ඉහල ගොස් නැතැයි එම ක්ෂේත්‍ර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මෙම සංදර්ශන මාලාව ඉන්දියාවේ ප්‍රධාන නගරවල පැවැත්වීමට මේවන විට සැලැසුම් කර ඇති බවත්, ඒ සඳහා විශාල මුදලක් වැය කිරීමට නියමිතව ඇතැයි ද පැවසේ.

සංචාරක ව්‍යාපාරයට අමතරව දෙරට අතර සංස්කෘතික සහ අනෙකුත් ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් පුළුල් කිරීම මෙම වැඩසටහනේ අරමුණ බව ශ්‍රී ලංකා සංචාරක අධිකාරිය දැනුම් දී තිබේ.

මෙම වැඩසටහන සැප්තැම්බර් 26 වැනිදා සිට 30 වැනිදා දක්වා පැවැත්වෙන අතර එහි පළමු ප්‍රදර්ශනය සැප්තැම්බර් 26 වැනිදා නවදිල්ලියේ ටාජ් පැලස් හෝටලයේදී පැවැත් වෙන බව පැවසේ.

ඉන් අනතුරුව මුම්බායි හි ශාන්ත රෙජිස් හෝටලයේදී හ හයිද්‍රාබාද් ටාජ් ක්‍රිෂ්ණා හෝටලයේදී ද සංදර්ශන සංවිධානය කර ඇත.

මෙම සෑම සංදර්ශනයකටම නැටුම් සහ විනෝදාශ්වාදය ඇතුළත් වන අතර ප්‍රේක්ෂකයන්ට විස්මයජනක අත්දැකීමක් සහ ශ්‍රී ලාංකික සංස්කෘතිය පිළිබඳ අවබෝධයක් ලබාදීම එහි අරමුණ බව ශ්‍රී ලංකා සංචාරක අධිකාරිය කියා සිටී.

සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති චාලක ගජබාහු මහතා සහ සභාපති/ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශයේ සභාපති තිසුම් ජයසූරිය මහතා ඇතුළු දේශීය සංචාරක නියෝජිතායතන සහ හෝටල් 50කට අධික නියෝජිත පිරිසක් මේ සඳහා සහභාගිවීමට යාමට නියමිත බව පැවසේ.

කෙසේවුවද, ඉන්දියාවෙන් මේ දක්වා මෙරටට පැමිණ ඇත්තේ සංචාරකයින් අසූදහසකට ආසන්න පිරිසක් පමණක් බවද පැවසේ.

මූලාශ්‍රය - අරුණ

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top