Nov 24, 2016

පරීක්ෂණයට බාධා කළාට අනුරගෙන් ප්‍රකාශයක් ඉල්ලයි

වර්ෂ 2008 දී කොටහේන ප්‍රදේශයේදී දෙමළ ජාතික පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදාව විසින් පැහැරගෙන යාමේ සිද්ධියකට අදාළව සිදුකළ පරීක්ෂණයකට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට අධිකරණය නියෝග කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද(24දා) අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් දැනුම් දී ඇත්තේ අදාළ දෙමළ ජාතිකයින් දෙදෙනා නාවික හමුදාව විසින් පැහැරගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය පරීක්ෂණයක් සිදුකළ බවයි.

එම පරීක්ෂණවලට හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා බාධා සිදුකර ඇති බව සඳහන් කර ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊට අදාළව දැනට රිමාන්ඩ් භාරයේ පසුවන අනුර සේනානායක මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීමට අවශ්‍ය බව කියා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා අනුර සේනානායක මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබාදී තිබේ.

එහිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට තවත් ඉල්ලීමක් ඉදිරිපත් කරමින් දන්වා ඇත්තේ මෙම පරීක්ෂණවලට අදාළ ලිපිලේඛණ ලබාදීම නාවික හමුදාව ප්‍රතික්ෂේප කර ඇති බවයි.

එම ඉල්ලීම පිළිගත් අතිරේක මහේස්ත්‍රාත්වරයා පරීක්ෂණවලට අදාළ ලිපිලේඛන ලබන 30 වැනිදාට පෙර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබාදෙන ලෙස නාවික හමුදාපතිවරයාට නියෝග කර තිබේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top