Jan 14, 2017

තරුණයකු අතුරුදහන් කල නාවිකයා අත්අඩංගුවට

2008 වසරේ කොටහේන ප්‍රදේශයේ පදිංචිව සිටි ද්‍රවිඩ ජාතික පුද්ගලයෙකු පැහැර ගෙන ගොස්, කප්පම් ලබාගෙන අතුරුදන් කිරීම සම්බන්ධයෙන්, ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් කොමදෝරු අනිල් ධම්මික මාපා නැමැත්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අද (14) අත්අඩංගුවට ගෙන තිබේ.

2008 වසරේදී පැහැර ගන්නා ලද මෙකී ද්‍රවිඩ ජාතිකයා සතුව තිබූ වෑන් රථයක් කැබලි කොට විකිණීම සම්බන්ධයෙන් ද මොහුට එරෙහිව සාක්ෂි ගොනු වෙමින් පවතී.

යුධ සමයේ පැහැර ගන්නා ලද මෙම ද්‍රවිඩ ජාතිකයා වැලිසර නාවික හමුදා කඳවුරේ රඳවා ප්‍රශ්න කොට ඇති අතර ඔහු සතු වූ වෑන් රථය කැබලි කොට විකුණා ඇත්තේ ද එකී හමුදා කඳවුර තුලදී ය.

කඳවුර තුලදී කැබලි කරන ලද අදාල වෑන් රථය කොටසින් කොටස කඳවුරෙන් පිටතට ගෙන ගොස් නැවත එකලස් කොට ඇති අතර අදාළ වෑන් රථයද මේ වන විට එක්තරා ස්ථානයක තිබී රහස් පොලිසිය විසින් සොයා ගෙන තිබේ.

ඊට අමතරව පැහැර ගන්නා ලද ද්‍රවිඩ ජාතිකයා මුදා හැරීම සඳහා ඔහුගේ පවුලේ උදවියගෙන් මෙකී නාවික හමුදා නිලධාරියා කප්පම් ලබාගෙන ඇත.

දැනට රහස් පොලිස් අත්අඩංගුවේ පසුවන ලුතිනන් කොමදෝරුවරයා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් නාවික හමුදාවෙන් විශාල විරෝධයක් රහස් පොලිසියට එල්ල වෙමින් පවතී.

කෙසේ වුවද මෙම නිලධාරියාව කොළඹ අංක 03 මහේස්ත්‍රාත්වරයා ඉදිරියට පැමිණවීමට නියමිතව ඇත.

(මූලාශ්‍රය - ලංකා නිව්ස් වෙබ්)

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top