Connect with us

ඡායාරූප සටහන

අපිට දැන් අවශ්‍ය ජාතික සමඟිය ඇති කිරීමයි – කරූ (ඡායා)

Published

on

හිටපු කථානායකවරයකු මෙන්ම කෘතහස්ත දේශපාලනඥයකු වන කරු ජයසූරිය මහතා “ශ්‍රී ලංකාභිමාන්‍ය”ගෞරව සම්මානයෙන් පිදුම් ලැබීමේ උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) පෙරවරුවේ කොටුව ජනාධිපති මන්දිරයේ දී පැවැත්විණි.

කරු ජයසූරිය මහතා ජාතිය උදෙසා කරන ලද උත්කෘෂ්ඨ සේවය අගයමින් ඒ මහතා වෙත මෙම සම්මානය පිළිගැන්විණි.

කරු ජයසූරිය මහතා වෙත පදක්කම් පළඳවා සම්මානය පිළිගැන්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු විය.

එහිදී “කරු ජයසූරිය අභිමානනීය ජීවිත ගමනේ ප්‍රභාෂ්වර ප්‍රත්‍යාවලෝකනය” නම් සමරු ග්‍රන්ථය කරු ජයසූරිය මහතා විසින් ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.

75 වන ජාතික නිදහස් සැමරුම නිමිත්තෙන් මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.

ජීවිත කාලය තුළ එක්වරක් පමණක් හිමි වන “ශ්‍රී ලංකාභිමාන්‍ය”ගෞරව සම්මානය ශ්‍රී ලංකා රජය විසින් ශ්‍රී ලාංකික පුරවැසියෙකුට හා ශ්‍රී ලාංකික නොවන පුද්ගලයෙකුට ලබා දෙන ඉහළම ජාතික සම්මානයයි.

මෙම ගෞරවාභිධානය සමකාලීනව දැරිය හැක්කේ ශ්‍රී ලාංකිකයන් පස් දෙනෙකුට පමණක් වන අතර එනම් එම සම්මානය ලබා සිටින පස් දෙනෙකු ජීවතුන් අතර සිටී නම් එම සම්මානය සයවෙන්නෙකුට ලබාදිය නොහැකිය. ඉහත සීමාව ඉක්මවා නොයන පරිදි පුද්ගලයෙකුගේ මරණයෙන් පසුව ද මෙම සම්මානය පිරිනැමීමට හැකියාව පවතියි.

අවසන් වරට 2017 වසරේ දී ශ්‍රී ලාංකේය සංගීත කලාව වෙනුවෙන් සිදුකරන ලද අනභිබවනීය මෙහෙවර උදෙසා ඩබ්.ඩී. අමරදේව ශූරීන් ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානයෙන් පිදුම් ලැබූ අතර හිටපු ජනාධිපතිවරුන් වන රණසිංහ ප්‍රේමදාස, ඩී.බී. විජේතුංග යන මහත්වරුන් ද, ආතර් සී. ක්ලාක්, ලක්ෂ්මන් කදිරගාමර්, ඒ.ටී. ආරියරත්න, ලෙස්ටර් ජේම්ස් පීරිස්, ක්‍රිස්ටෝපර් වීරමන්ත්‍රි යන මහත්වරුන් ද “ශ්‍රී ලංකාභිමාන්‍ය” සම්මානයෙන් පිදුම් ලැබ ඇත.

සම්මාන පිළිගැන්විමෙන් අනතුරුව උත්සව සභාව ඇමතූ කරු ජයසූරිය මහතා කියා සිටියේ තම දේශපාලන ජීවිතය තුළ කිසිදු අවස්ථාවක කිසිවෙකුට පරිභව හෝ විවේචනය නොකළ බවත්, තමා කිසිදු නීති විරෝධී කටයුත්තක් නොකළ බවත්ය.

තවද ඔහු පවසා සිටියේ මෙම අවස්ථාවේ සිදු කළ යුතුව ඇත්තේ ජාතිවාදී අරගල කිරීම නොව ජාතික සමඟිය ඇති කිරීමට කටයුතු කිරීම බවයි.

“මං විශ්වාස කරනවා මගේ ජාතිය මගේ ආගම, මං ඉල්ලාගත්ත දෙයක් නෙමෙයි, ඒ නිසා මේ කරුණ යටතේ අපිට ජාතිවාදී අරගල ඇතිකරන්න අවශ්‍ය වෙන්නෑ. මරාගන්න ඕන නෑ. ගහගන්න අවශ්‍ය වෙන්නෙ නෑ… අපිට අවශ්‍ය වෙන්නෙ දැන් මේ රටේ ජාතික සමඟිය ඇති කරලා… ඒ ප්‍රතිපත්ති එකඟත්වය ඇති කරලා අපි පුළුවන්නම් ඊළඟ පරපුරට මේ දැන් තියෙන ප්‍රශ්‍ණ භාර නොදී ඊළඟ පරපුරට සුඛිත මුදිත ජීවිතයක් ගතකරන්න පුළුවන්නම් ඒක තමයි අපේ ප්‍රධාන යුතුකම..”

වසර 75 ක් තුළ සිදුව ඇති අඩු පාඩු සකස් කර අත්වැල් බැඳගනිමින් ඊළඟ පරපුරට අභිමානවත් රටක් බාර දීමට එක් වන ලෙස ද ඒ මහතා පක්ෂ විපක්ෂ සියලු දෙනා ගෙන් ඉල්ලා සිටියේය.

(ඡායා : ජනාධිපති මාධ්‍ය අංශය)

ඡායාරූප සටහන

චීන මධ්‍ය සරත් සෘතු උළෙල කොළඹදී සැමරේ

Published

on

By

චන්ද්‍රයා විසින් වඩා යහපත් දිවියක් සඳහා බලාපොරොත්තු රැගෙන එන අතරම, චීන හා ශ්‍රී ලාංකික ජනතාවගේ හදවත් සමීප කරමින් ජාතීන් දෙක අතර සංස්කෘතික අවබෝධයේ පාලමක් ගොඩනඟන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති – චී ජන්හොං මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ පසුගිය 16 වැනිදා කොළඹදී පැවැත්වුණු චීන මධ්‍ය සරත් සෘතු උත්සව සැමරුම අතරතුරේදීය.

මීට දස වසරකට පෙර දෙරට නායකයන් අතින් විවෘත වූ චීන සංස්කෘතික මධ්‍යස්ථානය, එතැන් පටන් දෙරට අතර  සංස්කෘතික හා සංචාරක හුවමාරුවන් වර්ධනය කරමින් දෙරට ජනතාවන් සම්බන්ධ කරන පාලමක් ලෙස කටයුතු කළ බවද තානාපතිවරයා මෙහිදී පැවසීය.

“අ මූන්මන්ට් ටු රිමෙම්බර්’ (A Moonment to Remember’) ලෙස නම් කර තිබුණු මෙම උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා එක්විය.

කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලයේ මෙන්ම චීනයේ සංස්කෘතික හා සංචාරක අමාත්‍යංශයේ සත්කාරකත්වය යටතේ පැවැත්වුණු මෙම සැමරුමට චීනයේ ග්වංෂි ජුවාං (Guangxi Zhuang) ස්වායත්තයේ කලාකරුවන් පිරිසක් එක්විය.

ඊට අමතරව, චීන බස හදාරණ ශ්‍රී ලාංකික සිසු සිසුවියන් පිරිසක්ද මෙහිදී කවියක් ඉදිරිපත් කර තිබුණි.

මෙරට පිහිටි චීන සංස්කෘතික මධ්‍යස්ථානයට දස වසරක් පිරීම නිමිත්තෙන් ඡායාරූප ප්‍රදර්ශනයක් ද මෙහි පැවැත්වුණු අතර, මූන්කේක් සෑදීම ඇතුළු සංස්කෘතික ක්‍රියාකාරකම් වලට එක්වීමටද උත්සවයේ අමුත්තන් හට හැකි විය.

චීන මැද සරත් සෘතු උත්සවය යනු චීනයේ සමරනු ලබන ප්‍රධානතම සාම්ප්‍රදායික උත්සව හතරෙන් එකකි.
චන්ද්‍ර දින දර්ශනයේ අටවන මාසයේ 15වන දින හෙවත් සරත් ඍතුවේ මැද සමයේදී සමරනු බැවින් මෙම උත්සවය මධ්‍ය සරත් ඍතු උත්සවය ලෙස හැඳින්වේ. එදිනට සිය පවුලේ සාමාජිකයන් හා එක්ව, පූර්ණ චන්ද්‍රයාගේ අලංකාරය විඳිමින්, පහන් කූඩු දල්වමින් හා මේ වෙනුවෙන්ම සෑදෙන මූන්කේක් බෙදාගනිමින් චීන ජාතිකයන් විසින් මෙම උත්සවය සමරනු ලබයි.

මධ්‍ය සරත් ඍතු උත්සවය මේ වසරේදී යෙදී තිබුණේ සැප්තැම්බර් 17 වැනිදාටය.

(ඡායා : ශානිකා ජයසේකර)

Continue Reading

ඡායාරූප සටහන

ජනපති අතින් කුලියාපිටියේ වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව විවෘත කරයි

Published

on

By

මෙරට වාහන එකලස් කිරීමේ ක්ෂේත්‍රයේ සුවි‍ශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින් කුලියාපිටිය වෙස්ටර්න් ඔටෝමොබයිල් ඇසෙම්බ්ලි ප්‍රයිවට් ලිමිටඩ් (WAA) නවීන වාහන එකලස් කිරීමේ කර්මාන්තශාලාව ඊයේ (17) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත කෙරුණි.

දකුණු ආසියාවේ දැවැන්ත වාහන එක්ලස් කිරීමේ කර්මාන්තශාලාවක් වන වෙස්ටර්න් ඔටෝමොබයිල් ඇසෙම්බ්ලි ප්‍රයිවට් ලිමිටඩ් කර්මාන්ත ශාලාව සඳහා වැය කර ඇති මුදල අමෙරිකානු ඩොලර් මිලියන 27කි.

මෙම කර්මාන්තශාලාවේ එකලස් කරන ලද පළමු වාහනය වන ආසන 15 ක මගී වෑන් රථයක් මෙම මාසය අවසානයේ වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිතය.

ගෝලීය මෝටර් රථ විශේෂඥයින් විසින් නිර්මාණය කර ඇති ඉහළම මට්ටමේ ජාත්‍යන්තර යන්ත්‍රෝපකරණවලින් සමන්විත මෙම කර්මාන්තශාලාව මඟින් තරුණ තරුණියන්ට සෘජු සහ වක්‍ර රැකියා අවස්ථා රැසක් නිර්මාණය කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

එසේම ගෝලීය කර්මාන්ත අවශ්‍යතාවලට අනුකූලව ජාත්‍යන්තර මට්ටමේ වෘත්තීය පුහුණු ආයතනයක් ද මෙහි පවත්වාගෙන යන අතර මෙරට තරුණ තරුණියන්ට එම පුහුණුව මඟින් විදේශ රැකියාවන් සඳහා යොමුවීමට අවස්ථාව සැලසෙනු ඇත.

ඊයේ (17) පස්වරුවේ කුලියාපිටිය වෙස්ටර්න් ඔටෝමොබයිල් ඇසෙම්බ්ලි ප්‍රයිවට් ලිමිටඩ් (WAA) නවීන වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමරු ඵලකය නිරාවරණය කර කර්මාන්ත ශාලාව විවෘත කළේය.

Continue Reading

ඡායාරූප සටහන

“සමහර රටවල් ශ්‍රී ලංකාවේ දුෂ්කරතාවයෙන් ප්‍රයෝජන ගෙන අපේ මිතුරන්ට විශාල පීඩනයක් දුන්නා”

Published

on

By

චීනය ඇතුළු රටවල් වල විද්‍යාත්මක පර්යේෂණ යාත්‍රා ලංකාවට ඇතුළු නොකිරීමට ගත් තීන්දුව ‘රාජ්‍ය තාන්ත්‍රික ජයග්‍රහණයක්’ ලෙස ඇතැම් රටවල් සැලකූ බව ශ්‍රී ලංකාවේ සිටින ඉහළ පෙළේ චීන රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙක් පැවසීය.

කොළඹ චීන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී – යැන්වෙයි ජූ මහතා ඊයේ (සැප්. 12) කොළඹ වරාය නගරයේ දී මාධ්‍යවේදීන් පිරිසක් සමඟ පැවැති සාකච්ඡාවකදී මේ තීන්දුව සම්බන්ධයෙන් චීන සමාජ මාධ්‍ය තුළ පුළුල් කතිකාවතක් ඇති වී තිබුණු බවද කියා සිටියේය.

මිත්‍ර රටක් ලෙස ශ්‍රී ලංකාව මෙවැනි ක්‍රියාමාර්ගයක් ගැනීමට හේතුවූයේ ඇයිද පිළිබඳව චීන ජනතාව ප්‍රශ්ණ නගා තිබූ බව යැන්වෙයි මහතා මෙහිදී පැවසීය.

ස්වාධීන හා ස්වෛරී රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව ගත් තීරණයට චීනය සම්පූර්ණයෙන්ම ගරු කරන නමුත්, මෙම තීන්දුව ශ්‍රී ලංකා රජය විසින් ස්වාධීනව ගනු ලැබුවක්ද යන්න පිළිබඳව ගැටළු සහගත බව ඔහු පැවසීය.

“මේ තීරණය ශ්‍රී ලංකා රජය විසින් ගෙන තිබුණේ ස්වාධීනවද නැත්නම් බාහිර බලපෑම් නිසාද කියන එක තවත් ගැටළුවක්. අපිටත් කටකතා ගොඩක් ආරංචි වුණා… ඒ නිසා ශ්‍රී ලංකා රජය එවැනි තීරණයක් ගන්නා විට චීනය නිහඬව සිටියා.. මොකද අපි අපේ මිතුරාට ගරු කරනවා… පහුගිය වසර දෙකක් පුරාවට අපේ මිතුරා මුහුණදෙන අසීරු තත්ත්වය අපට තේරෙනවා… සමහර රටවල් ශ්‍රී ලංකාවේ දුෂ්කරතාවයෙන් ප්‍රයෝජන ගෙන අපේ ශ්‍රී ලාංකික මිතුරන්ට විශාල පීඩනයක් දුන්නා…”

සිය මිතුරන්ව අපහසුතාවයට පත් කිරීමට අකමැති බැවින් චීනය නිශ්ශබ්දව සිටි බව ඔහු පැවසීය.

කෙසේ වෙතත්, ‘සමහර මිතුරන්’ විද්‍යාත්මක පර්යේෂණ යාත්‍රා තහනම් කිරීමට ගත් තීරණය ‘රාජ්‍ය තාන්ත්‍රික ජයග්‍රහණයක්’ ලෙස සැලකූ බව යැන්වෙයි මහතා පැවසීය.

සැබෑම මිත්‍රයා හා හවුල්කරුවා චීනය බව ඉතිහාසය සහ අනාගතය විසින් ශ්‍රී ලාංකික මිතුරන්ට ඔප්පු කරනු ඇති බවත්, ශ්‍රී ලංකාව සමඟ ඉදිරියටත් එකට ගමන් කිරීමට සූදානම් බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

නෞකා විසින් සිදුකරන පර්යේෂණ චීනය විසින් තනිව සිදු කරන්නක් නොව, එම පර්යේෂණ තනිවම සිදු කිරීමට හැකියාවක් නොමැති ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් සිදු කරන්නක් බවත් ඔහු පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාව සමඟ මේ ආකාරයෙන් ඒකාබද්ධ පර්යේෂණ සිදුකිරීමට හැකියාව සහ කැමැත්ත ඇති වෙනත් රටක් ඇතිදැයි ඔහු ප්‍රශ්න කළේය.

ශ්‍රී ලංකාවේ අවසරයකින් තොරව මෙම පර්යේෂණයේ තොරතුරු කිසිවකු සමඟ බෙදාගත නොහැකි බවද ඔහු අවධාරණය කළේය.

මේ අතර, මාධ්‍යවේදීන් අමතමින් ශ්‍රී ලංකාවේ චීන තානාපති – චී ජන්හොං මහතා යළිත් අවධාරණය කර සිටියේ චීනය හා ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය වසර 2,000ක අතීතයක් දක්වා දිවෙන බවයි.

ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත මැතිවරණය පිළිබඳව අදහස් දක්වමින් තානාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ චීනය සමඟ සබඳතා ශක්තිමත් කිරීමට ලංකාවේ නව රජය සූදානම් නම්, මිත්‍රත්වය හා සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සඳහා චීනය සැමවිටම කැමැත්තෙන් සිටින බවයි.

ඡායාරූප – ශානිකා ජයසේකර । කැළුම් ශිවන්ත

ඡායාරූප: කැලුම් ශිවන්ත | ශානිකා ජයසේකර)

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved