මෙරට ජ්‍යෙෂ්ඨතම පුවත්පත් කලාවේදියෙක් වන ‘දිවයින’ පුවත්පතේ සමාරම්භක කර්තෘ හා කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ එඩ්මන්ඩ් රණසිංහයන්ගේ දශක හතක මාධ්‍ය මෙහෙවර අගයමින් සම්පාදිත ‘ එඩ්මන්ඩ්ගේ පත්තර විප්ලවය ‘ කෘතිය එළිදැක්වීම අද (03) දිනයේදී ජනාධිපති කාර්යාලයේදී සිදුවිය.
මෙය, මෙරට පුවත් පත් කලාව වෙනුවෙන් අමිල මෙහෙවරක් ඉටු කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන්ට ජාතියේ උපහාර පිදීමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයට අනුව දියත් කෙරෙන වැඩසටහනේ සමාරම්භයද සනිටුහන් කරයි.
එම උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා පැවසුවේ මෙරට පුවත්පත් කලාවේ පරිවර්තනීය වෙනසක් සිදු කළ නියමුවෙකු ලෙස ප්‍රවීණ මාධ්‍යවේදී එඩ්මන් රණසිංහ මහතා හැඳින්විය හැකි බවයි. දශක හතක මාධ්‍ය මෙහෙවරක නිරත වූ එඩ්මන් රණසිංහ මහතාගේ මාධ්‍ය කලාව ශ්‍රී ලාංකේය සමාජ, ආර්ථික සහ දේශපාලනය උන්නතිය සඳහා ඉවහල් වූ බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ය.
මාධ්‍ය කලාව ඉදිරියට ගෙන ඒමට කෘතිම බුද්ධිය දායක කර ගත හැකි අන්දම පිළිබඳ සොයා බැලීමෙන් ඵලදායි මාධ්‍ය කලාවක් නිර්මාණය කරගත හැකි බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
“එදා ඊයම් අකුරු අමුණා සිදුකළ පත්තර කලාව අද වන විට ipad එක දක්වා දියුණු වී තිබෙනවා. ලේක්හවුස් ආයතනය වැනි මහා මන්දිරයක තිබෙන දැනුම google මාධ්‍ය තුළ ඉක්මනින් සොයා ගැනීමේ හැකියාව මේ වන විට නිර්මාණය වී අවසන්. එම නිසා පත්තර කලාව සමාජගත කිරීමට තාක්ෂණය හොඳ මෙවලමක් බවට පත්ව තිබෙනවා. නමුත් ඕනෑම රටක පවතින මාධ්‍ය රටේ නීතියට යටත්ව ක්‍රියාත්මක වුණා. නමුත් සමාජ මාධ්‍ය බිහි වීමත් සමඟ තමන්ගේ හිතුමතය අනුව තමන්ට අවශ්‍ය දේ පළ කිරීමට කටයුතු කරමින් සිටිනවා. මෙම සියලූ සමාජ මාධ්‍ය සහ අනෙකුත් මාධ්‍ය ජාත්‍යන්තර ගිවිසුමකට එළැඹෙනවා ද නැති නම් රටේ නීතියට අනුව කටයුතු කරනවාද කියා සාකච්ඡාවක් ඇති කළ යුතුයි. බොහෝ විට යුරෝපයේ තිබෙනන නීතියට සියලු දෙනා එකඟතාවය පළ කරාවි,” යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.
මෙම කෘතිය ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර, ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ – ඩබ්ලිව්. එම්. කේ. විජේබණ්ඩාර, නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්ෂ දීප්ති අධිකාරි යන මහත්ම මහත්මීන් විසින් සංස්කරණය කර ඇත.
ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සභාපති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සමන් අතාවුදහෙට්ටි මහතා විසින් මෙම වැඩසටහන මෙහෙයවූ අතර එම අවස්ථාවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත්. සී. දොළවත්ත, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න යන මහත්වරුන් සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන්, පුවත්පත් කර්තෘවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.