අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් දරුවන්ට ලබාදෙන චීන තානාපති ශිෂ්‍යත්ව වැඩසටහනේ තවත් පියවරක් ඉදිරියට තැබීමට කොළඹ චීන තානාපති කාර්යාලය කටයුතු කර තිබේ.
මේ යටතේ බදුල්ල කැප්පිටිපොල මහා විද්‍යාලයේ සිසුන් සිය දෙනෙකු සඳහා ශිෂ්‍යත්ව ප්රදානය කිරීමේ වැඩසටහනක් නොවැම්බර් 01 දා සිදුකෙරුණු අතර, මේ සඳහා තානාපති කාර්යාලය විසින් රු. මිලියන 2.5ක් ප්රදානය කර තිබුණි.
මෙම උත්සවය අමතමින් චීන තානාපති – චී ජන්හොං මහතා පැවසුවේ 2016 වසරේදී ආරම්භ වූ චීන තානාපති ශිෂ්‍යත්ව වැඩසටහන මේ වන විට ලංකාව පුරා පාසල් 20කට වැඩි ප්‍රමාණයක් තුළ ක්‍රියාත්මක වන බවයි.
2023 හා 2024 යන වසර වලදී ලාංකික සිසුන් සඳහා අවශ්‍ය වූ පාසල් නිල ඇඳුම් රෙදි වලින් පිළිවෙළින් 70%ක් හා 80%ක් චීනය විසින් පරිත්‍යාග කළ බව සඳහන් කළ තානාපතිවරයා, 2025 අධ්‍යයන වර්ෂය සඳහා අවශ්‍ය නිල ඇඳුම් රෙදි ප්‍රමාණය සම්පූර්ණයෙන්ම චීන රජයෙන් පරිත්‍යාග කිරීමට සූදානම් බවද පැවසීය.
රු. බිලියන 5.2ක වටිනා මීටර් මිලියන 12කට ආසන්න මෙම රෙදි තොගය, මේ වසර අවසන් වීමට පෙර අදියර තුනක් යටතේ කොළඹට ගෙන්වීමට නියමිත බවද ඔහු කියා සිටියේය.
මීට අමතරව, චීන මධ්‍යම රජය, පළාත් රජයන් හා රාජ්‍ය නොවන සංවිධාන විසින් ලංකාවේ දුෂ්කර ප්‍රදේශවල සිසුන් දහස් ගණනකගේ ඉගෙනීමට අවශ්‍ය පාසල් බෑග්, ලිපි ද්‍රව්‍ය ඇතුළු වෙනත් දෑ පරිත්‍යාග කර ඇති බවත්, ඉදිරි වසර කිහිපය තුළදී මෙරට පුරා පාසල් 500ක ස්මාර්ට් පන්ති කාමර 900 ක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බවත් තානාපතිවරයා පැවසීය.
මෙම පියවර වලින් ලංකාවේ සිසුසිසුවියන් මිලියනයකට අධික පිරිසකට ප්රතිලාභ ලැබෙනු ඇතැයිද චී මහතා පෙන්වා දුන්නේය.
මේ වන විට නව ජනාධිපතිවරයාගේ ප්‍රබල නායකත්වය යටතේ නව යුගයක් කරා ගමන් කරමින් සිටින ශ්‍රී ලංකාවට, චීනය යනු සැබෑ මිතුරෙකු පමණක් නොව විශ්වාසනීය හවුල්කරුවෙකු ද වන බව තානාපතිවරයා වැඩිදුරටත් පැවසීය.
මෙම උත්සවයට තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය, ඌව පළාත් අධ්‍යාපන නිලධාරීන් මෙන්ම විද්‍යාලයේ සිසුන්, ආචාර්ය මණ්ඩලය සහ ආදි සිසුන්ද එක්විය.