Connect with us

ඡායාරූප සටහන

චීන යුද නැව් 3ක් කොළඹ වරායට (ඡායා)

Published

on

මහජන චීන විමුක්ති හමුදාවේ (Chinese People’s Liberation Army Navy) යුද නෞකාවන් වන “HE FEI”, “WUZHISHAN” සහ “QILIANSHAN” යන යුද නෞකා ත්‍රිත්වය නිල සංචාරයක් සඳහා අද දින (2024 අගෝස්තු 26) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාවන් නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

මෙලෙස කොළඹ වරායට සේන්දු වූ Destroyer වර්ගයට අයත් “HE FEI” යුද නෞකාව, දිගින් මීටර් 144.50 හා නැව් මුළුව 267 ක ගෙන් සමන්විත වන අතර, එම නෞකාවේ අණදෙන නිලධාරී ලෙස ‍කපිතාන් Chen Junfeng කටයුතු කරනු ලබයි. Landing Platform Dock වර්ගයට අයත් “WUZHISHAN” යුද නෞකාව දිගින් මීටර් 210 හා නැව් මුළුව 872 ක ගෙන් සමන්විත වන අතර, එම නෞකාවේ අණදෙන නිලධාරී ලෙස ‍කපිතාන් Fei Zhang කටයුතු කරනු ලබයි. Landing Platform Dock වර්ගයට අයත් “QILIANSHAN” යුද නෞකාව දිගින් මීටර් 210 හා නැව් මුළුව 334 ක ගෙන් සමන්විත වන අතර, එම නෞකාවේ අණදෙන නිලධාරී ලෙස ‍කපිතාන් Xiong Binghon කටයුතු කරනු ලබයි.

මෙම නෞකා ත්‍රිත්වයේ අණදෙන නිළධාරීන් සහ බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ අතර නිල හමුවක් අද දින (2024 අගෝස්තු 26) බටහිර නාවික විධාන මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතව ඇති අතර, දෙරටේ නාවික හමුදාවන්ගේ සුහදත්වය වැඩිදියුණු කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන විවිධ වැඩසටහන් සඳහා එම නෞකාවන්ගේ නැව් මුළුවන් සහභාගී වීමටද නියමිතව ඇත.

එමෙන්ම, “HE FEI”, “WUZHISHAN” සහ “QILIANSHAN” යන යුද නෞකා ත්‍රිත්වය මෙරට රැඳී සිටින කාලසීමාව තුල එම නෞකාවන්ගේ නැව් මුළුවන් දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමට නියමිතව ඇති අතර, නෞකාවන්ගේ මෙහෙයුම් ක්‍රියාකාරිත්වය පිළිබඳව ශ්‍රී ලංකා නාවික හමුදා පුද්ගලයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් එම නෞකා තුළ පැවැත්වීමටද නියමිතව ඇත.

තවද, බටහිර නාවික විධාන මුහුදු තීරයේදී ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවක් සමඟ සිදු කෙරෙණ පුහුණු අභ්‍යාසයකින් (PASSEX) අනතුරුව, මෙම නිල සංචාරය අවසන් කරමින් “HE FEI”, “WUZHISHAN” සහ “QILIANSHAN” යුද නෞකා ත්‍රිත්වය 2024 අගෝස්තු මස 29 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.

(මූලාශ්‍රය හා ඡායා : navy.lk)

කලා

‘Papon Live’ කොළඹදී පැවැත්වේ! (ඡායා)

Published

on

By

76 වන ඉන්දීය ජනරජ දිනය වෙනුවෙන් කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය හා ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය විසින් සංවිධානය කළ  ‘Papon Live’  (පැපොන් ලයිව්) ප්‍රසංගය ඊයේ (22) උත්කර්ෂවත් ලෙස කොළඹ නෙළුම් පොකුණ රඟහළේ දී පැවැත්වුණි.

මෙම අවස්ථාවට වැඩබලන ඉන්දීය මහ කොමසාරිස් – ආචාර්ය සත්‍යංජල් පාණ්ඩේ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අමාත්‍ය වසන්ත සමරසිංහ, මහබැංකු අධිපති – ආචාර්ය නන්දලාල් වීරසිංහ මෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරුන් වන නලින් හේවගේ, හර්ෂණ සූරියප්පෙරුම, සුනිල් වටගල, මහින්ද ජයසිංහ සහ චතුරංග අබේසිංහ ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්විය.

පැපොන්ගේ ආත්මීය තනු වලට අමතරව, ආචාර්ය රවිබන්දු විද්‍යාපති ප්‍රමුඛ සංගීත හා ගායන කණ්ඩායමයක දක්ෂතා වලින්ද මෙම උත්සවය වඩාත් වර්ණවත් විය. 

අසාම් ප්‍රාන්තයෙන් බිහිවූ ‘අංගරාග් මහන්තා’ ශෛලයන් ගණනාවක ගී ගයන අතිදක්ෂ ඉන්දීය ගායකයෙකු මෙන්ම සංගීතඥයෙකි.  

Moh Moh Ke Dhaage (Dum Laga Ke Haisha), Kyon (Barfi!) Jiyein Kyun (Dum Maaro Dum), Humnava (Hamari Adhuri Kahani), හා Labon Ka Karobar (Befikre) වැනි චිත්‍රපට ගීත රැසක් ගායනා කර ඇති ඔහු, කෝක් ස්ටූඩියෝ, MTV අන්ප්ලග්ඩ් වැනි අතිජනප්‍රිය සංගීත වැඩසටහන් වලටද දායකත්වය ලබාදෙමින් සම්මාන රැසකට හිමිකම් කියයි.

(ඡායා : ශානිකා ජයසේකර ‍| අතිරේක ඡායා : ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය)


Continue Reading

ඡායාරූප සටහන

දේශීය කථානාද සිනමාවේ 78 සැමරුම

Published

on

By

ශ්‍රී ලාංකේය කතානාද සිනමාවට වසර 78 ක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කරන ලද සැමරුම් උත්සවයක්, ඊයේ ( 21) පස්වරුවේ තරංගනී සිනමා ශාලාවේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණි.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය, ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා  ප්‍රධාන ආරාධිතයා වශයෙන් මීට එක්විය.

ශ්‍රී ලාංකේය කතානාද සිනමාවට වසර 78 ක් සපිරීම මෙන්ම ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවට වසර 53 ක් සම්පූර්ණ වීමද මෙහිදී සැමරීම සිදුවිය.

මෙම සුවිශේෂී අවස්ථාවට විෂය භාර අමාත්‍යවරයා මෙන්ම නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක, ආචාර්ය රවීන්ද්‍ර රන්දෙණිය, වසන්ති චතුරාණි, ප්‍රියංකර පෙරේරා ඇතුළු මෙරට කලාවේ ප්‍රවීණ කලාකරුවන් සහ නවක කලා ශිල්පීන් රැසක් ද සහභාගීව සිටියහ.

ආචාර්ය සෙනේෂ් දිසානායක බණ්ඩාර මහතා විසින් ශ්‍රී ලාංකේය සිනමාව පිළිබඳ වූ හරවත් දේශනයක් පවත්වනු ලැබූ අතර  ‘සංස්කෘතික මිනිසෙකු නිර්මාණය කිරීමෙහිලා, අධ්‍යයතන සිනමාවේ කාර්ය භාරය’ යන්න එහි මාතෘකාව විය.

මෙම සුවිශේෂී සංවත්සර සැමරුමේදී මෙරට කලාව පෝෂණය කිරීමෙහිලා සිය අනුපමේය දායකත්වය ලබාදුන් ප්‍රවීණ සිනමා කලාකරුවන් තිදෙනෙකු ඇගයීම ද සිදු වූ අතර එම සම්මානයෙන් පිදුම් ලැබුවේ ප්‍රවීණ රංගන ශිල්පි ආචාර්‍ය රවීන්ද්‍ර රන්දෙණිය, ප්‍රවීණ ගායන ශිල්පි සහ රංගන ශිල්පි ප්‍රියංකර පෙරේරා සහ ප්‍රවීණ සිනමා නිළි වසන්ති චතුරාණි යන මහත්ම මහත්මීන් ය.

එමෙන්ම සංස්ථාවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් දෙදෙනෙකු අගයා සම්මානයට පාත්‍ර කිරීම ද මෙහිදී සිදුවිය.

සංවත්සර උත්සවයේ තවත් විශේෂ අංගයක් ලෙස චිත්‍රපට සඟරාව විශේෂ කලාපය එළිදැක්වීම (2025 පළමු කලාපය) මෙන්ම සංස්ථා ප්‍රකාශනයක් ලෙස සිනමා ග්‍රන්ථයක් එළිදැක්වීම ද සිදුවිය. ‘වාර්තා චිත්‍රපට වංශය’ නම් එම ග්‍රන්ථය රචනා කරන ලද්දේ කතුවර නාමල් ප්‍රසන්න මහතා විසිනි.

සංවත්සර උත්සවය පැවැත්වීමට පෙර දිනයන් තුළ, විශිෂ්ට සිනමා කෘතීන් කිහිපයක් නොමිලයේ නැරඹීමට ජාතික චිත්‍රපට සංස්ථාව මඟින් මෙරට සිනමා ප්‍රේක්ෂකයින් හට අවස්ථාව සලසාදී තිබිණි.

සභාව ආමන්ත්‍රණය කළ ජාතික චිත්‍රපට සංස්ථා සභාපති සුදත් මහදිවුල්වැව මහතා විසින් චිත්‍රපට සංස්ථාව මඟින් ඉදිරියේදී සිදු කිරීමට නියමිත කටයුතු රැසක් පිළිබඳව ද දැනුම් දී සිටියේය.

ජාතික සිනමා අරමුදලක් පිහිටුවීම, කොළඹ අන්තර්ජාතික සිනමා උළෙල, ජාතික සිනමා පාසලක් ආරම්භ කිරීම, චිත්‍රපට ශාලා නොමැති ප්‍රදේශවල ආසන 50කින් යුක්ත සිනමා ශාලා නිර්මාණය කිරීම, බස් රථයක් සිනමා ශාලාවක් ලෙස සංවර්ධනය කරමින් ‘ජංගම සිනමා ශාලා’ අත්දැකීම ලබාදීම, පාසල් සිනමා පර්ෂද පිහිටුවීම යනාදිය ඒ අතරට අයත්ය.

සභාපතිවරයා සඳහන් කර සිටියේ තිරගත වීමට නියමිතව ඇති ‘චිත්‍රපට පෝළිම්’ සඳහා ද නිසි විසඳුම් කාලයත් සමඟ ලබාදෙන බවයි.

සංවත්සර උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා සභාව අමතමින් අවධාරණය කර සිටියේ, ඉතිහාසයේ ප්‍රථම වරට ජනතාවගෙ වුවමනාවත් පාලකයන්ගේ අපේක්ෂාවත් සමපාතව ඇති කාල වකවානුවක, හීන හැබෑ කරගැනීම කළ නොහැකි කාර්‍යයක් නොවන බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

”අපේ ජීවිතවල නොවිසඳුණු ගැටළු ටික අපි ඉතා ඉක්මනින් විසඳගන්න,ලංකාව නිසි මඟකට ගන්න තමයි අපේ මැදිහත්වීම සිද්ද වුණේ. මේක කරගන්න බැරි වැඩක් නෙවෙයි.චිත්‍රපට විෂය සම්බන්ධව නොවිසඳුණු ගැටළු රැසක් පාර්ලිමේන්තුවේදී එවකට මන්ත්‍රීවරයෙක් වුණු අනුර දිසානායක සහෝදරයා කතා කරපු හැටි මේ හැන්සාඩ් වාර්තාවේ තියෙනවා.

ඔහු ඇසූ ප්‍රශ්නවලට එවක ජනමාධ්‍ය අමාත්‍යවරයා වුණු කෙහෙළිය රඹුක්වැල්ල දීපු උත්තරත් මේකෙ තියෙනවා.
මේක බෝර්ඩ් අල්ලලා කෑගහලා කියන්න දෙයක් නෙවෙයි. අපි ආවේ ඒකට තමයි.

අප අමාත්‍යවරුන් හැටියට කටයුතු කරන සියලුදෙනාගෙ අමාත්‍යංශවල තියෙන්නෙ සමහරවෙලාවට ඒ ඇමතිවරුන්ට වඩා දෙගුණයක් තුන් ගුණයක් වඩා වයස පනත් කෙටුම්පත්. ඒවත් එක්ක කිසිවක් කරන්න බෑ. ඒ නිසා මේවා නැවත සලකා බලන්න කාලෙ හරි. දේශපාලකයෙක් හැටියට පොරොන්දු පුනරුච්ඡාරණය කරමින් කතා කරන එක මටවත් මගෙ දේශපාලන ව්‍යාපාරයටත් පුරුදු නෑ.

දැන් ලංකාවේ පළවෙනි වතාවට ඔබේ වුවමනාව, අපේ වුවමනාව බවට පත්වෙලා තියෙනවා.අප අතරෙ අපේ අවශ්‍යතාවල පරතරයක් නැති නිසා මේ හීනය ඇත්තටම හැබෑ කරගන්න පුළුවන්….”

Continue Reading

ඡායාරූප සටහන

නීති-රීතිවලින් පමණක් රටක් ඉදිරියට ගෙන යන්න බැහැ

Published

on

By

නීති-රීතිවලින් පමණක් රටක් ඉදිරියට ගෙන යා නොහැකි බවත් රටක සම්ප්‍රදාය ඉතාම වැදගත් අංගයක් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.

බුදු දහමෙහි හරයන් මත ගොඩ නැගුණු සම්ප්‍රදාය ශ්‍රී ලංකා සමාජය හැඩගැස්වීමෙහි ලා සුවිශේෂී කාර්යභාරයක් සිදු කර තිබෙන බවත්  එනයින් බෞද්ධ සම්ප්‍රදාය අනාගත පරම්පරාවට සුරක්ෂිතව ලබා දීම සියලු දෙනාගේම වගකීමක් බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ, මහා විහාරවංශික  ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 74 වන උපසම්පදා රාජ්‍ය උත්සවය පැවැත්වීම සම්බන්ධයෙන්  ජනාධිපති කාර්යාලයේ අද (22) පැවති සාකච්ඡාවට එක් වෙමිනි .

බෞද්ධාගම තුළ තිබෙන ප්‍රධාන උත්සවයක් වන උපසම්පදා විනය කර්මයෙහි ඓතිහාසික වැදගත්කම  මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා උපසම්පදා භික්ෂුව අහෝසි වීම යනු බෞද්ධ සංස්ථාවම අහෝසි වීමක් බවත්, එම අතීත සම්ප්‍රදායන් ආරක්ෂා කර ගනිමින් ගෞරවයෙන් ඉදිරියට ගෙන යා යුතු බවත් සඳහන් කළේය.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ  උපසම්පදා විනය කර්ම රාජ්‍ය උත්සවය 2025 ජුනි 30 වන දා සිට ජූලි 05 වන දා අතර විජිතපුර, පලුගස්වැව පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් උදකුක්ඛේප සීමා මාලකයේදී සිදු කිරීමට නියමිතය. සාමණේර හිමිවරුන් 250කට අධික පිරිසකගේ උපසම්පදා විනය කර්ම මහා උත්සවය මෙලෙස රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත් වේ.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දෙවසරකට වරක් සිදු කරනු ලබන උපසම්පදා විනය කර්මය ගරු කටයුත්තක් ලෙස රජය සලකන බැවින්,  ඒ සඳහා අවශ්‍ය පහසුකම් නොපිරිහෙලා ලබා දීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට මෙහිදී උපදෙස් ලබා දුන්නේය.

මහා විහාරවංශික  ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමල ස්වාමීන් වහන්සේ, මහා විහාරවංශික  ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ නායක අතිපූජ්‍ය අත්තංගනේ රතනපාල ස්වාමීන් වහන්සේ , මහා විහාරවංශික  ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක අතිපූජ්‍ය වලේබොඩ ගුණසිරි ස්වාමීන් වහන්සේ, මහා විහාරවංශික  ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක අතිපූජ්‍ය අංකුඹුරේ ප්‍රේමවංශ ස්වාමීන් වහන්සේ  ඇතුළු මහා සංඝරත්නයද,  විදේශ කටයුතු , විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් , බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනවි, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්  රොෂාන් ගමගේ , උතුරු මැද පළාත් ආණ්ඩුකාර හිටපු මහාධිකරණ විනිසුරු වසන්ත කුමාර විමලසිරි, ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකාය ආරක්ෂක සභාවේ සභාපති හිටපු කතානායක කරූ ජයසූරිය , ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකාය ආරක්ෂක සභාවේ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  ලසන්ත අලගියවන්න යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය –

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved