Connect with us

ඡායාරූප සටහන

ජනපති ජල සමුළුව අමතයි

Published

on

යුක්‍රේනයේ මරණ හා විනාශය සඳහා අරමුදල් සැපයීමට ගෝලීය උතුර කැමැත්තෙන් සිටින නමුත් දේශගුණික විපර්යාස නිසා ඇතිවන මරණ හා විනාශය වළක්වා ගැනීමේ ක්‍රියාමාර්ග සඳහා අරමුදල් සැපයීමට අකමැත්තක් දක්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ඉන්දුනීසියාවේ, බාලි ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී අද (20) පෙරවරුවේ ආරම්භ කෙරුණු 10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසිය අමතමිනි.

ගෝලීය බදු පැහැර හැරීම ආශ්‍රිත වත්කම්වල වාර්ෂික ලාභය ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1.4 ක් ලෙස ගණන් බලා ඇති බවත් දේශගුණික විපර්යාසයන් වෙනුවෙන් අරමුදල් යෙදවීම සඳහා එම ලාභයෙන් 10% ක බද්දක් අය කිරීමට ශ්‍රී ලංකාව යෝජනා කර ඇති බවත් ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය.

“සාමුහික සෞභාග්‍ය සඳහා ජලය” යන තේමාව යටතේ ලෝක ජල සමුළුව පසුගිය මැයි 18 වනදා ඉන්දුනීසියාවේ බාලි නගරයේ දී ආරම්භ වූ අතර ලෝක රාජ්‍ය නායකයන්, විශේෂඥවරුන්, විද්වතුන්, ව්‍යවසායකයන් සහ ප්‍රතිපත්ති සම්පාදයකයන් මීට එක්ව සිටිති.

සැමට ජලය සැපයීම සහතික කිරීමේ කාර්යක්ෂම හා ඒකාබද්ධ උපායමාර්ග වෙනුවෙන් ලොව පුරා විවිධ ජාතීන් පෙළගැස්වීම මෙම සමුළුවේ අරමුණයි.

1997 වසරේ සිට සෑම වසර තුනකට වරක්ම පැවැත්වෙන ජලය පිළිබඳ ප්‍රමුඛ සමුළුවක් වන ලෝක ජල සමුළුවේදී ලොව සියලු රටවලට අත්දැකීම් සහ ජල කළමනාකරණය සඳහා සුදුසුම භාවිතයන් පිළිබඳ දැනුම බෙදා හදා ගැනීමේ අවස්ථාව උදා වන අතර ජලය, සනීපාරක්ෂක අභියෝග සහ තිරසර සංවර්ධන ඉලක්ක සම්බන්ධව පාර්ශ්වකරුවන් අතර සංවාද පැවැත්වීම එහි වැදගත් පියවරකි.

ලෝක ජල සමුළුව සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආසියානු සහ පැසිෆික් කලාපයේ ආර්ථික හා සමාජ කොමිසම, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආහාර හා කෘෂිකාර්මික සංවිධානය, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පාරිසරික වැඩසටහන, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සංවර්ධන වැඩසටහන, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අධ්‍යාපන, විද්‍යා හා සංස්කෘතික සංවිධානය, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජාත්‍යන්තර ළමා අරමුදල, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්මික සංවර්ධන සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාළගුණ සංවිධානය එක්වී සිටී.

10 වන ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසිය ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ (Joko Widodo) මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20) පෙරවරුවේ ආරම්භ කෙරුණු අතර ලොව රටවල් රැසක් රාජ්‍ය නායකයන්, අදාළ ආමත්‍යවරු සහ විශේෂ නියෝජිතයන් ඊට එක්ව සිටියහ.

සමුළුට එක්ව සිටී රාජ්‍ය නායකයන් ඇතුළු නියෝජිතයන් ඉන්දුනිසියානු ජනාධිපතිවරයා විසින් ඉතා මිත්‍රශිලීව පිළිගනු ලැබීය.

මෙම සමුළුව අමතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදු කළ සම්පූර්ණ කතාව මෙසේය,

“10 වැනි ලෝක ජල සමුළුව බාලි හිදී පැවැත්වීම සඳහා සත්කාරකත්වය ලබාදීම වෙනුවෙන් ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ මහතා වෙත පළමුවෙන්ම මාගේ ස්තූතිය පිරිනැමීමට කැමතියි.

“සාමූහික සෞභාහ්‍ය සඳහා ජලය” යන තේමාව, සියලු ජීවීන්ගේ ජීව රුධිරය වන ජල සම්පත් සහ පරිසර පද්ධති සේවාවන් කළමනාකරණය කිරීමේ සාමූහික වගකීම කෙරෙහි අවධානය යොමු කරවන්නක් බව කිවයුතුයි.

ඒ වගේම මෙය ඉන්දුනීසියාව විසින් එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ පස්වන සැසිවාරයේදී (UNEA-5) යෝජනා කරන ලද “තිරසර විල් කළමනාකරණය” යන යෝජනාවට ද අනුකූල වෙනවා. එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ හයවන සැසිවාරයේදී (UNEA-6) යුරෝපා සංගමය ශ්‍රී ලංකාව සමඟ එක්ව “6/13 දේශගුණික විපර්යාස, ජෛව විවිධත්වයේ අඩුවීම හා පරිසර දූෂණය යන කරුණු සම්බන්ධයෙන් තිරසර සංවර්ධනයක් ඇති කිරීම වෙනුවෙන් ජල ප්‍රතිපත්ති ශක්තිමත් කිරීම සඳහා ඵලදායී හා සියල්ල ඇතුළත් විසඳුම්” යන යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවා.

G20 සංවිධානයේ සභාපතිත්වය තුළ ගෝලීය මිශ්‍ර මූල්‍ය සන්ධානය ආරම්භ කිරීම සඳහා මුලපිරීම පිළිබඳ ඉන්දුනීසියානු රජයට සුබ පැතීමට මා මෙය අවස්ථාවක් කර ගන්නවා. ශ්‍රී ලංකාව එහි පුරෝගාමී සාමාජිකයෙකු වීමට කැමැත්ත පළ කරනවා.

දේශගුණික විපර්යාස සහ ජල ගැටළුව එකම කාසියක දෙපැත්තක්. අද පවතින ජල සම්පත් අර්බුදය ඇතිවීමට ප්‍රධාන හේතුව ද දේශගුණික විපර්යාසයන් නිසා ඇතිවන බලපෑම් බව සඳහන් කළයුතුයි.

දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලය (IPCC) විසින් 2090 දක්වා පුරෝකතනය කර ඇති දේශගුණික තත්ත්වයන්ට අනුව, ශ්‍රී ලංකාවේ වියළි කලාපය තවදුරටත් වැඩි වියළි ස්වභාවයකට පත්වන අතර තෙත් කලාපය පෙර නොවූ විරූ ආකාරයෙන් තෙත් තත්ත්වයට පත් වනු ඇත. මුහුදු මට්ටම ඉහළ යාම, වෙරළබඩ ප්‍රදේශවලට ලවණ ජලය කාන්දු වීමට හේතු වන අතර එහි ප්‍රතිඵලයක් ලෙස ගොඩබිම ලවණීකරණයට ලක් වෙනවා.

මා ශ්‍රී ලංකාව උදාහරණයට ගෙන මේ පිළිබඳ සඳහන් කළේ ලෝකය පුරාම සිදුවන්නේ ද මෙය බව සඳහන් කිරීමටයි.

ගෝලීය වශයෙන් ගත් විට, ජල අර්බුදයට විසඳුම, දේශගුණික විපර්යාස අවම කිරීම සහ ඒ සඳහා අනුවර්තනය වීම මත රඳා පවතිනවා. ජලය ඉලක්ක කරගත් නිශ්චිත ක්‍රියාමාර්ග සමඟ ත්‍රිත්ව ග්‍රහලෝක අර්බුදයට එරෙහිව සටන් කළ යුතුයි.

ජාතික වශයෙන් නිර්ණය කරන ලද දායකත්වය තුළ, ජලය, අනුවර්තන අංශ යටතේ වර්ගීකරණය කර තිබෙනවා. අනෙක් අතට, විමෝචනය මූලික හේතුව වන බැවින් දේශගුණික විපර්යාස අවම කිරීම සමානව වැදගත් වෙනවා. දේශගුණික විපර්යාස හේතුවෙන් ජල සම්පතට එල්ල වන තර්ජනවලට එරෙහිව සටන් කිරීම සඳහා දැවැන්ත මූල්‍ය සම්පත් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා.

දේශගුණික විපර්යාස සඳහා මූල්‍ය සම්පත් ලබා දීමේ වැඩසටහන්වලට අනුගත වීමේදී ගෝලීය උතුර අවාසනාවන්ත ලෙස අසමත් වී තිබෙනවා. ග්ලාස්ගෝ හි පැවති එක්සත් ජාතීන්ගේ දේශගුණික සමුළුව අවසන් වීමෙන් පසුව මේ සඳහා පවතින දේශපාලන කැමැත්තෙහි සැලකිය යුතු අඩුවක් දක්නට ලැබෙනවා.

දේශගුණික විපර්යාස ප්‍රතික්ෂේප කිරීම බටහිර රටවල ප්‍රචලිත වෙමින් පවතිනවා. දිගු කලක් තිස්සේ ප්‍රමාද වී පවතින හානි හා පාඩු අරමුදල ස්ථාපිත කිරීම ඵලදායී ලෙස ක්‍රියාත්මක කළහොත්, මෙම පරතරය පියවා ගැනීමට එය උපකාරී වෙනවා වගේම එය විශාල පියවරක් වෙනවා.

නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුව මේ වසරේ සැප්තැම්බර් මාසය වන විට අවසන් වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. එසේ වුවත්, එහි අවසන් ප්‍රතිඵලය නොවැම්බර් මාසයේ පැවැත්වෙන ඇමෙරිකානු ජනපතිවරණයේ ප්‍රතිඵල මත රඳා පවතිනු ඇතියි.

2021 දී ආර්ථික සහයෝගිතාව සහ සංවර්ධනය සඳහා වූ සංවිධානය (OECD) විසින් 2030 වසරේදී ගෝලීය වශයෙන් ජලය ආශ්‍රිත යටිතල පහසුකම් සඳහා ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 6.7 ක් සහ 2058 වසරේදී ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 22 ක් ආයෝජනය කිරීමට ඇස්තමේන්තු කළා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පරිසර වැඩසටහනෙහි 2023 වසරේ (UNEP) “අඩු මුල්‍ය – අඩු සුදානම්” වාර්තාව අනුව දේශගුණික විපර්යාසවලට එරෙහිව සටන් කිරීම සඳහා අවම මූල්‍ය පරතරය වසරකට ඇමරිකානු ඩොලර් බිලියන 194 සිට 366 දක්වා වන බව තක්සේරු කර තිබෙනවා.

යුක්‍රේනයේ මරණ සහ විනාශය සඳහා අරමුදල් සැපයීමට ගෝලීය උතුර කැමැත්තෙන් සිටිනවා. නමුත් දේශගුණික විපර්යාස නිසා සිදුවන මරණ සහ විනාශය වළක්වා ගැනීම සඳහා අරමුදල් සැපයීමට අකැමැත්තක් දක්වනවා.

අපේක්ෂිත ප්‍රමාණවලින් සහ අපේක්ෂිත වේගයකින් අප වෙත අරමුදල් නොපැමිණෙන නිසා සම්පත් පරතරය මඟහරවා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාව COP 28 සමුළුව වෙත නිවර්තන කලාපීය මුලපිරීම (Tropical Belt Initiative) ඉදිරිපත් කළා.

එය ත්‍රිත්ව ග්‍රහලෝක අර්බුදයට මුහුණ දීම සඳහා නිවර්තන කලාපයේ ස්වභාවික වනාන්තර, කඩොලාන, වගුරු බිම්, තෘණ බිම්, ජල මූලාශ්‍ර සහ අනෙකුත් ස්වාභාවික සම්පත් සඳහා වාණිජ ආයෝජන උපයෝගී කර ගැනීමේ නව සංකල්පයක් වෙනවා.

මෙම කලාපය ආරම්භයේ සිටම සමස්ත ලෝකයටම ආරක්ෂක පලිහක් බවට පත්වුණා. එය වර්තමානයේ පවතින ත්‍රිත්ව ග්‍රහලෝක අර්බුදයට විසඳුම් ලබා දීමේ උත්ප්‍රේරක වේගකාරකයක් වෙනවා. නිවර්තන කලාපයේ ආයෝජනය කිරීම, ත්‍රිත්ව ග්‍රහලෝක අර්බුදයට එරෙහිව සටන් කිරීම සඳහා පරිවර්තනීය වෙනස්කම් ගෙන එනු ඇතියි.

මෙම සන්දර්භය තුළ, ගෝලීය මිශ්‍ර මූල්‍යකරණය පිළිබඳ වැඩසටහන මගින් ගෝලීය දකුණට අවශ්‍ය මූල්‍ය සම්පත් සකස් කර ගැනිමට හැකියාව ලැබෙනවා. මෙම අරමුදල ආරම්භ කිරීම සඳහා පවතින ඇමෙරිකානු ඩොලර් බිලියන 9.4 සහනදායී මූල්‍යකරණය සඳහා හොඳ උදාහරණයක් වෙනවා.

නිවර්තන කලාපීය මුලපිරීමට ද මෙම පහසුකම ප්‍රයෝජනවත් වනු ඇතියි. මෙම සන්දර්භය තුළ බදු පාරාදීසයන්හී තැන්පත් කර ඇති ගෝලීය බදු පැහැර හැරීම් ආශ්‍රිත වත්කම්වල වාර්ෂික ලාභය මත 10% ක බද්දක් පැනවීම සඳහා ශ්‍රී ලංකාව යෝජනා කරනවා.

එම වාර්ෂික ලාභය ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 1.4ක් ලෙස ගණන් බලා තිබෙනවා. මෙම බද්ද ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වන බැංකු සහ මූල්‍ය ආයතනවලට රුසියානු බැංකුවලට පැනවූ සම්බාධකවලට සමාන ආකාරයේ සම්බාධක පැනවීමෙන් මෙම බද්ද ක්‍රියාත්මක කළ හැකියි.

දේශගුණික විපර්යාසයන්ට අනුවර්තනය වීම සහ ඒවා අවම කිරීම වෙනුවෙන් වන මිශ්‍ර මූල්‍ය ව්‍යාපෘති සඳහා භාවිතා කිරීමට මෙම බදු මඟින් අරමුදල් ලබා ගත යුතුයි.

ගෝලීය මිශ්‍ර මූල්‍යකරණ මුලපිරීම, හානි හා පාඩු පිළිබඳ අරමුදල්වලට අතිරේකයක් මිස විකල්පයක් නොවෙයි. මෙම ක්‍රියාමාර්ග දෙක එකට ක්‍රියාත්මක කළ යුතුයි.

එබැවින් සන්ධාන ලේකම් කාර්යාලය පිහිටුවීම සහ G20 සමුළුවේදී මෙම වැඩසටහන පිළිබඳ යෝජනා කිරීම සම්බන්ධයෙන් ඉන්දුනීසියාව විසින් සිදු කරන ලද භාරදූර කාර්යය වෙනුවෙන් මෙම සමුළුවේදී අපගේ ප්‍රශංසාව පළ කරමු.

ජල සම්පත් කළමනාකරණය සම්බන්ධයෙන් මෙන්ම ගෝලීය මිශ්‍ර සන්ධානය එකට එක්ව ගෙන ඒම සඳහා ජනාධිපති ජෝකෝ විඩෝඩෝ මහතා දැක්වූ දායකත්වය වෙනුවෙන් නැවතත් අපගේ ස්තූතිය පිරිනමනවා.”

මේ අතර ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ (Joko Widodo) මහතා විසින් සමුළුවට සහභාගී වූ රාජ්‍ය නායකයන් සහ නියෝජිතයන් වෙනුවෙන් බාලි සංස්කෘතික උද්‍යානයේ දී ඊයේ (19) පිරිනමන ලද රාත්‍රී භෝජන සංග්‍රහයටද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක් විය.

(ජනාධිපති මාධ්‍ය අංශය )

ඡායාරූප සටහන

ජනපති මිහිඳු සෙත් මැදුරෙහි නේවාසික සෙබළුන්ගේ සුවදුක් විමසයි

Published

on

By

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (19) පෙරවරුවේ අත්තිඩිය ‘මිහිඳු සෙත් මැදුර’- සුවතා නිකේතනය වෙත ගොස් එහි නේවාසිකව ප්‍රතිකාර ලබන නේවාසික සෙබළුන්ගේ සුවදුක් විමසා බැලීය.

සෙබළුන් වෙත ගොස් ඔවුන් සමඟ සුහද පිළිසදරක නිරත වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා ඔවුන්ගේ සිතුවම් හා නිර්මාණ නැරඹීමටද එක් විය.

තිස් අවුරුදු යුද්ධය හේතුවෙන් උතුරේත් දකුණේත් විශාල පිරිසකට තම ජීවිත මෙන්ම අත්පා හා ශරීර කොටස් අහිමි වී සදහටම ආබාධිත තත්ත්වයට පත් වීමට සිදු වූ බව පැවසූ ජනාධිපතිවරයා යළිත් කිසිදු දිනෙක මෙවන් තත්ත්වයක් ඇති වීමට ඉඩ නොදෙන බව අවධාරණය කළේය. අබාධිත තත්ත්වයට පත් සෙබළුන් මෙන්ම ඔවුන්ගේ පවුල්වල අභිවෘද්ධිය වෙනුවෙන් තමා අඛණ්ඩව කැප වන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මිහිඳු සෙත් මැදුර – සුවතා නිකේතනයෙහි සේවයේ නිරත වෛද්‍යවරුන් ප්‍රමුඛ කාර්ය මණ්ඩලය සමඟද අදහස් හුවමාරු කර ගත්තේය. සෙබළුන් වෙනුවෙන් තවදුරටත් ලබා දිය හැකි වෛද්‍ය හා සේවා පහසුකම් සැපයීම පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු විය.

ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් තුයියකොන්තා, යුද හමුදාපති ලුතිනන් ජනරාල් ලසන්ත රොද්‍රිගෝ, මිහිදු සෙත් මැදුරේ සේනා විධායක බ්‍රිගේඩියර් ඩබ්ලිව්. ජී. එස්. ඩී. එස් රාජකරුණා, යුද හමුදා රණ සේවා හා පුනරුතථාපන අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ඩබ්ලිව්. ඒ. එස් විජේදාස ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරින් සහ සෙසුනිලයින් පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගි වූහ.

Continue Reading

ඡායාරූප සටහන

තානාපතිවරු හත් දෙනෙක් ජනාධිපතිවරයා වෙත අක්තපත්‍ර භාර දෙති

Published

on

By

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව සිටින තානාපතිවරු හත් දෙනෙක් අද (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිල වශයෙන් සිය අක්තපත්‍ර භාර දුන්හ.

ආජන්ටිනා ජනරජය (Argentine Republic) සිම්බාබ්වේ ජනරජය (Republic of Zimbabwe), ඊශ්‍රායලය (Israel), පිලිපීන ජනරජය (Republic of the Philippines),ටජිකිස්තාන ජනරජය (Republic of Tajikistan), කාම්බෝජ රාජධානිය (Kingdom of Cambodia) සහ ඩෙන්මාර්ක් රාජධානිය (Kingdom of Denmark) සඳහා නව තානාපතිවරුන් මෙලෙස පත්ව සිටී.

අද දින අක්තපත්‍ර භාර දුන් තානාපතිවරුන්ගේ නාම ලේඛනය පහත දැක්වේ.

01. Mr. Mariano Agustin Caucino
මාරියානෝ අගුස්ටින් කව්චිනෝ මහතා – නවදිල්ලියේ වාසික ආජන්ටිනා ජනරජයේ තානාපති
02. Ms. Stella Nkomo
ස්ටෙලා න්කොමෝ මහත්මිය – නවදිල්ලියේ වාසික සිම්බාබ්වේ ජනරජයේ තානාපති
03. Mr. Reuven Javier Azar
රූවෙන් හවීයර් අසාර් මහතා- නවදිල්ලියේ වාසික ඊශ්‍රායල තානාපති
04. Ms. Nina P. Cainglet
නිනා පී. කයින්ග්ලට් මහත්මිය – ධකාහි වාසික පිලිපීන ජනරජයේ තානාපති
05. Mr. Lukmon Bobokalonzoda
ලුක්මොන් බොබොකලොන්සෝඩා මහතා- නවදිල්ලියේ වාසික ටජිකිස්තාන ජනරජයේ තානාපති
06. Ms. Rath Many
රත් මැනි මහත්මිය – නවදිල්ලියේ වාසික කාම්බෝජ රාජධානියේ තානාපති
07. Mr. Rasmus Kristensen
රස්මස් ක්‍රිස්ටෙන්සන් මහතා – නවදිල්ලියේ වාසික ඩෙන්මාර්ක් රාජධානියේ තානාපති

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරුද එම අවස්ථාවට එක්ව සිටියහ.

Continue Reading

ඡායාරූප සටහන

“සුන්බුන් කොහොමද ජනවරමට අභියෝග කරන්නේ. එහෙම කරනවා නම් අපි ආණ්ඩු නෙමෙයි.”

Published

on

By

ජාතික ජනබලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, සියලුදෙනා ජනවරමට අනුව වැඩ කිරීමට බැඳී සිටින අතර ජනවරමට එරෙහිව කටයුතු කරන්නේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, නීතිය හා දේශපාලන බලය යොදා ගනිමින් එම උත්සාහයන් ව්‍යවර්ථ කිරීමට කටයුතු කරන බවය.

කොළඹ විහාරමහාදේවී එළිමහන් රංග පීඨයේ ඊයේ (14) පැවති ජනතා විමුක්ති පෙරමුණේ 60 වන සංවත්සර සැමරුම් උත්සවයට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේය.

“ජනවරම කියන එක හොඳට තේරුම් ගන්න ඕනේ. යම් සභාවක ඒ ජනතාව, ඒ නගර සභාව බාරදෙන්න ඕනේ කියලා කල්පනා කරන ව්‍යාපාර එකකට දෙකකට. අනිත් අය ඔය එක්කෙනෙක් දෙන්නෙක් හිටියට කමක් නෑ කියලා තෝරා ගන්නා ලද ව්‍යාපාර තියෙනවා. 

ලංකාවේ පළමු වතාවට 267ක් පළමු පාර ප්‍රාදේශීය සභා දිනලා තියෙනවා. දිනන හැම එකක්ම පිහිටු වීම ජනවරමේ අපේ අයිතිය. ඒකට අකුල් හෙළන්න, ඒකට බාධා කරන්න එනවා නම්, බාධා කරන අකුල් හෙළන අයට කියන්නේ නීතියේ ඕන තරම් ඉඩකඩ තියෙනවා කියලා මතක තියා ගන්න. 

දැන් කට්ටිය කියනවා අපේ ජනවරම ශූන්‍ය වෙලා ලු. මම ඒත් බැලුවා මේ පළාත් පාලන ඡන්දයක් පාර්ලිමේන්තු ඡන්දයට දාලා ගණන් හැදුවත් 122ක් තියෙනවා. කොහේද ජනවරම අහෝසි වෙලා තියෙන්නේ. එතැන තමා ජනවරම තියෙන්නේ. ඒ නිසා ජනවරමට අනුව අපි වැඩ කරන්න බැඳිලා ඉන්නවා. 

ජනවරමට එරෙහිව කවුරු හරි කටයුතු කරනවා නම් ව්‍යවස්ථාව, නීතිය, දේශපාලනය මේ ඔක්කෝගෙන්ම අපි වැඩකරන්න ලෑස්තියි. හදලා පුළුවන් නම් මාස තුනක් හතරක් යන්න. එච්චරයි කියන්නේ. නීතිය මදිනම් තුනෙන් දෙකක් තියෙනවා. 

සුන්බුන් කොහොමද ජනවරමට අභියෝග කරන්නේ. එහෙම කරනවා නම් අපි ආණ්ඩු නෙමෙයි.”

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved