Connect with us

ඡායාරූප සටහන

දුටුවන් මුසපත් කරන සේද මාවතේ මහා කඩමණ්ඩිය (ඡායා / වීඩියෝ)

Published

on

ෂින්ජියැං ජාත්‍යන්තර ග්‍රෑන්ඩ් බසාර් (Xinjiang International Grand Bazaar) යනු ප්‍රමාණයෙන් ලොව විශාලතම කඩමණ්ඩියයි.

ඉස්ලාමීය සංස්කෘතිය, ගෘහ නිර්මාණ ශිල්පය, ජනවාර්ගික වාණිජ්‍යය, සංචාරක ව්‍යාපාරය සහ විනෝදාස්වාදය ඒකාබද්ධ කරන ස්ථානයක් ලෙස මේ කඩමණ්ඩිය ප්‍රකටය.

Urumqi හා ෂින්ජියැං හි වඩාත් ප්‍රසිද්ධ සන්ධිස්ථානවලින් එකක් වන මේ කඩමණ්ඩියේ ඉදිකිරීම් 2002 අගභාගයේදී අවසන් කළ බව පැවසෙන අතර එය මහජනතාව සඳහා විවෘත වී ඇත්තේ 2003 ජුනි 26 වැනිදාය.

Urumqi පුරාණ සේද මාවතේ පිහිටා ඇති නගරයක් වන අතර එහි  වසර දහස් ගණනක් තිස්සේ විශාල කඩමණ්ඩියක් පැවැති බව ලෝක ඉතිහාසය සාක්ෂිදරයි.

එහි ඉදිකිරීම් ප්‍රදේශය වර්ග මීටර් 100,000 කට ආසන්න වන අතර වෙළඳසැල් 3,000 කට වැඩි ප්‍රමාණයක් ඇති බව පැවසේ.

ග්‍රෑන්ඩ් බසාර්හි වාස්තු විද්‍යාත්මක ශෛලිය විශ්මයජනක සහ අතිශයින්ම ඉස්ලාමීය එකකි.

ග්‍රෑන්ඩ් බසාර් වෙත පැමිණීම මධ්‍යම ආසියාවේ වෙළඳපොළක් හරහා ඇවිදීම හා සමාන බැව් සංචාරකයන්ගේ මතය වේ.

ග්‍රෑන්ඩ් බසාර් වෙත ඇතුළු වන්නෙකුට, චතුරශ්‍රයේ මධ්‍යයේ මීටර් 100 ක් පමණ උස වටකුරු කුළුණක්  දැකගත හැකි වේ.

එය ග්‍රෑන්ඩ් බසාර් හි වඩාත් ප්‍රසිද්ධ ආකර්ෂණය වන අතර එය සේද මාවතේ දර්ශන කුළුණ ලෙස නම් කර ඇත.

එම කුළුණේ සෑම මහලකම සේද මාවතේ ඓතිහාසික කතාව සිතුවම් කර තිබේ.

කුළුණ මුදුනේදී, උරුම්කි නගරයේ පරිදර්ශක දසුනක් දැකගැනීම උගහට නොවේ.

චතුරස්‍රයේ දෙපසම උයිගර් විලාසිතාවේ පදික වීදි දැක ගැනීමට හැකිවන අතර රසවත් ෂින්ජියැං පලතුරු වර්ග, විවිධ කජු වර්ග මෙන්ම වියළි පළතුරු වෙළෙන්දන්ගෙන් ද පිරී තිබේ.

සමහර ජනවාර්ගික සංගීත භාණ්ඩ, අත්කම් භාණ්ඩ සහ පින්තාරු කරන ලද රබන් ආදිය ද  මිලදී ගැනීමට මෙහිදී අවස්ථාව උදාවේ.

මේ කඩමණ්ඩියේ වැඩි ඉල්ලුමක් ඇත්තේ කාපට්, සේද හා අත්කම් වලටය.

ඒ සින්ජියැං කාපට් ඒවායේ කලාත්මක සුන්දරත්වය සහ ශිල්පීය හැකියාව ප්‍රකට කර ඇති නිසාය.

එසේම ලොම් වලින් සාදන ලද ඒවායේ දීප්තිමත් වර්ණ සහ මෝස්තර උයිගර් ජනතාව පිළිබිඹු කරයි.

උයිගර් ජනතාව විසින් පැළඳ සිටින දේශීය රෙදිපිළි අතර “ඇට්ලස් සිල්ක්” එහි දීප්තිමත් වර්ණ සඳහා ප්‍රසිද්ධය.

මෙම සේද රෙදි ඉතා මෘදු වන අතර දේශීය ජනතාව ඔවුන්ගේ ඇඳුම් සඳහා මෙන්ම ඔවුන්ගේ නිවාසයන්හි අභ්‍යන්තර අලංකරණයක් ලෙසද ඒවා භාවිතා කරයි.

උයිගර් ජනවාර්ගික සුළුතර කණ්ඩායමට අද්විතීය සංස්කෘතියක් ඇති අතර ඔවුන්ගේ අත්කම් චීනයේ වෙනත් තැන්වල දක්නට නොලැබෙන වෙනස් ඒවාය.

ඔවුන්ගේ ගෙතූ ඇඳුම්, එම්බ්‍රොයිඩර් සහ ජේඩ් කැටයම් නිර්මාණ මනස්කාන්ත සිත් ගන්නා සුළු ඒවාය.

දේශීය උයිගර්වරු සාප්පු ඉදිරිපිට ඔවුන්ගේ ජන සංගීතය වයන සංගීත කණ්ඩායම් මෙන්ම නර්තනයේ යෙදෙන ලලනාවන්ද එහි සුලබ දසුනකි.

නාන් කෞතුකාගාරය මෙම කඩමණ්ඩියේ තවත් ප්‍රධාන ආකර්ෂණීය තැනකි.

ෂින්ජියැං හි නාන් සඳහා දිගු ඉතිහාසයක් ඇති අතර එය ෂින්ජියැං හි වාර්ගික සුළුතරයන්ගේ ප්‍රධාන ආහාරයයි.

ග්‍රෑරෑන්ඩ් බසාර් හි නාන් කෞතුකාගාරය ෂින්ජියැං  පුරා සිටින ජනයා ආහාරයට ගන්නා නාන් වර්ග 100 කට වඩා ප්‍රදර්ශනය කරයි.

සටහන හා ජායාරූප හා වීඩියෝව –
කැළුම් ශිවන්ත (ෂින්ජියැං – Urumqi සිට)

ඡායාරූප සටහන

ඇහැලේපොළ වලව්වේ ඉටි රූප කෞතුකාගාරය ජනපති අතින් විවෘත කෙරේ

Published

on

By

මහනුවර ඓතිහාසික ඇහැලේපොළ වලව්වේ ඉටි රූප කෞතුකාගාරය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් අද (17) පෙරවරුවේ විවෘත කෙරිණි.

නාගරික සංවර්ධන අධිකාරිය විසින් ප්‍රතිසංස්කරණය කරන ලද ඇහැලේපොළ වලව්ව ශ්‍රී දළදා මාළිගාවට පවරා දීමෙන් පසු, එහි පුරාවිද්‍යාත්මක හා සංස්කෘතික වටිනාකම් සුරක්ෂිත කර ගනිමින් මෙම කෞතුකාගාරය නිර්මාණය කර තිබේ.

ඇහැලේපොළ වලව්ව අයත් කන්ද උඩරට රාජධානියේ ගෘහ නිර්මාණ ශිල්පය, චාරිත්‍රවාරිත්‍ර සහ කලා ශිල්ප ආදිය ඉටි ආශ්‍රයෙන් මෙහි ප්‍රතිනිර්මාණය කර තිබෙන අතර, පාරම්පරික කර්මාන්ත පිළිබඳ  ප්‍රදර්ශන කුටි මෙන්ම ඉපැරණි  භෝජනාගාරයක්ද ස්ථාපිත කර තිබේ.

එමෙන්ම, වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ හිමි, වාරියපොල ශ්‍රී සුමංගල හිමි,  පළමු වන විමලධර්මසූරිය රජු, කුසුමාසන දේවිය, මොණරවිල කැප්පෙටිපොළ දිසාව, දේවේන්ද්‍ර මුලාචාරිතුමා, රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා,  ඇහැලේපොළ මහාධිකාරම්, කුමාරිහාමි, දරු දෙදෙනා ඇතුළු  ඉතිහාසයේ සුවිශේෂි චරිත 35කට අදාළ ජීවමාන ඉටි රූප මෙහි ප්‍රතිනිර්මාණය කරනු ලැබ ඇත.

ශ්‍රී ලංකාවේ ප්‍රෞඪත්වය සහ අභිමානය විදහා දැක්වෙන අයුරින් නිම කර ඇති මෙම කෞතුකාගාරය මහනුවරට පැමිණෙන දෙස්විදෙස් සංචාරකයන්ගේ මහත් ආකර්ෂණයට ලක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. එසේම, වර්තමාන පරපුරට උඩරට රාජධානිය සහ ඒ සමඟ බැඳුණු ඉතිහාසය නිවැරදිව අධ්‍යයනය කළ හැකි මධ්‍යස්ථානයක් බවටද මෙම කෞතුකාගාරය පත් වනු ඇත.

ගම්පොළ ප්‍රදේශයේ පදිංචි අතුල හේරත් මහතා මෙහි නිර්මාණ ශිල්පියා වන අතර  ශ්‍රී දළදා මළිගාවේ ඇහැලේපොල වලව්ව කෞතුකාගාර විශේෂ ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක වූ මෙම කටයුත්ත සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 300කි.

සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක හිමිවරුන් වන අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි, අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම යන ස්වාමීන් වහන්සේලා සහ සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක හිමිවරුන් වන අතිපූජ්‍ය වෙඬරුවේ උපාලි, අතිපූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සී යන ස්වාමින් වහන්සේලා ඇතුළු ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු සහ අස්ගිරි උභය මහා විහාරයීය ලේඛකාධිකාරී සහ කාරක සංඝ සභික මහා සංඝරත්නයද, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාර්මාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත, ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල යන මහත්වරුද, විවිධ ක්ෂේත්‍රයන්හි විද්වතුන් ඇතුළු ආරාධිතයෝ පිරිසක්ද  මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Continue Reading

ඡායාරූප සටහන

පොලීසියට රූපලාවන්‍යාගාරයක් (ඡායා)

Published

on

By

පොලිස් ක්ෂේත්‍ර බළකා මුලස්ථානයේ ‘රූ සිරි’ නමින් නවීන රූපලාවන්‍යාගාරයක් විවෘත කර තිබේ.

මෙය පොලිස් සේවා වනිතා ඒකකයේ මුලිකත්වයෙන් වැඩිදියුණු කරන ලද අතර, ඊයේ (15) දින පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණි.

පොලිස් නිලධාරීන් පමණක් මෙතෙක් කාලයක් සහනදායි මුදලකට මෙහිදී සේවාව ලබාගැනීම සඳහා උදාකර තිබුණද මින් ඉදිරියට පොලිස් නිලධාරිනියන්ට, පොලිස් පවුල්වල සාමාජිකයින්ට හා ඒ වෙත පැමිණෙන භාහිර පාර්ශවයන් වෙතද සහනදායි මිලකට සියලුම රූපලාවන්‍ය කටයුතු සිදුකර ගත හැකිය.

මෙහි සේවය කිරීම සඳහා පොලිස් නිලධාරීන්ගේ පවුල්වල විෂයෙහි ප්‍රවීණ සාමාජිකයින්ට අවස්ථාව හිමිකර දීම මෙහි විශේෂත්වයකි.

පොලිස් සේවා වනිතා ඒකකයේ වැඩබලන සභාපතිනි නිල්මිණී සමරතුංග මහත්මිය, එම සංගමයේ සාමාජිකා සංදීපා සෙව්මිණි මහත්මිය හා පොලිස් ක්ෂේත්‍ර බළකා මුලස්ථානයේ අණදෙන නිලධාරී කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දර්ශිකා කුමාරි මහත්මිය ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ අදහස් හා අධීකරණය යටතේ මෙම රූපලාවන්‍යාගාරය සාර්ථකව වැඩිදියුණු කිරීමට අපේක්ෂිතය.

(ඡායා : ශ්‍රී ලංකා පොලිස් ෆේස්බුක් පිටුවෙනි)

Continue Reading

ඡායාරූප සටහන

අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ශුද්ධ වූ පූජකවරයේ ස්වර්ණ ජයන්ති උපහාර උලෙළ (ඡායා)

Published

on

By

පිරිහී ගිය සමාජයට යළි මනුෂ්‍යත්වයේ ජීවය සහ අධ්‍යාත්මික ගුණය කැටුව ඒමේදී අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ චරිතය පරමාදර්ශයක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ පූජක දිවියට වසර 50ක් පිරීම නිමිත්තෙන් කොළඹ අගරදගුරු පදවිය විසින් ඊයේ (07) පස්වරුවේ කොළඹ අගරදගුරු නිවසේ සංවිධානය කරන ලද උපහාර උත්සවය අමතමිනි.

සමාජයේ යහපැවැත්ම සහ අධ්‍යාත්මය ගොඩනැඟීමට වෙහෙසකර ව්‍යායාමයක නිරත වන උන්වහන්සේ, විශාල මෙහෙයක් ඉටු කරන රාජ්‍යතාන්ත්‍රිකයකු, බයිබලය ඉතා හොඳින් විවරණය කරමින් කරුණු ඉදිරිපත් කළ හැකි ධර්ම ගවේෂකයකු, සමාජය අවදි කළ හැකි ශක්තිමත් පෞරුෂයක් හිමි කථිකයකු වන අතරම, එම භූමිකාවලින්ද ඔබ්බට ගිය සැබෑ මානව හිතවාදියකුද වන  බව ජනාධිපතිවරයා පැවසීය.

කාලයේ වැලිතලාවෙන් යටපත්වීමට ඉඩ නොතබා පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණය ඉටු කිරීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නා බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය. එය රජය, රජයේ ඇතුළාන්තයෙන් පරීක්ෂණයට භාජනය විය යුතු අභියෝගයක් බව පැවසු ජනාධිපතිවරයා කෙතරම් දුෂ්කර වුවද මේ සම්බන්ධයෙන් සාධාරණය ඉටුවිය යුතු බවද අවධාරණය කළේය.

මෙහිදී, සභාව අමතමින් සිය 50 වසරක අත්දැකීම් සිහිපත් කළ අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ වසර 75ක ඒකාධිපති වියරුව අවසන් කිරීමට ජනපතිවරයා සමත් වීම පිළිබඳව ඇගැයීමට ලක් කළහ. එසේම, මෙරට විවිධ ජාතීන් අතර වෛරය වැපිරූ දේශපාලන සංස්කෘතිය මුලිනුපුටා දැමීමට හැකිවීම පිළිබඳ ප්‍රසාදය පළ කළ උන්වහන්සේ සමෘද්ධිමත් දේශයක් කරා රට මෙහෙය වීමේදී නව ප්‍රවේශයක අවශ්‍යතාවද අවධාරණය කළහ.  

කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ පූජක දිවියට වසර 50ක් පිරීම නිමිත්තෙන් එළිදැක්වුණු සමරු මුද්දරය සහ මුල්දින කවරයද මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි.

1947 වර්ෂයේ කුරුණෑගල පොල්ගහවෙල ප්‍රදේශයේදී උපත ලද මැල්කම් රංජිත් හිමිපාණෝ, වර්ෂ 1975 ජූනි 29 වන දින ශුද්ධ වූ සය වන පාවුළු පාප් වහන්සේගේ සුරතින් වතිකානුවේ සාන්ත පීතර බැසිලිකාවේදී පූජක වරම් ලබා ගත්හ. අනතුරුව, වර්ෂ 1978 සිට මීසම් සහායක පියතුමකු, වැඩබලන මීසම් සේවක පියතුමකු, දේව ධර්මය පිළිබඳ කථිකාචාර්යවරයකු මෙන්ම, දේව ධර්ම නිකේතන මහාචාර්යවරයකු ලෙස කටයුතු කර ඇති උන් වහන්සේ සිංහල, දෙමළ, ඉංග්‍රීසි, ජර්මන්, ප්‍රංශ, ස්පාඤ්ඤ සහ ඉන්දුනිසීයානු බස ආදී භාෂා රැසක ප්‍රවීණතාව ලබා සිටිති.

1991 වර්ෂයේදී එවකට අගරදගුරුවරයා වූ අතිඋතුම් නිකලස් මාකස් ප්‍රනාන්දු හිමිපාණන්ගේ මූලිකත්වයෙන් තේවත්තේ ලංකා අප ස්වාමිදුවගේ බැසිලිකාවේදී කොළඹ අගරදගුරු පදවියේ සහායක රදගුරුවරයකු ලෙස එතුමාගේ පදවි ප්‍රාප්ත වීම සිදු විය.

අනතුරුව, වර්ෂ 2009 ජූනි මස 16 වන දින කොළඹ පදවියේ අගරදගුරුවරයා ලෙස පත් වූ මැල්කම් රංජිත් හිමිපාණෝ, එයින් වසරකට පසු, වර්ෂ 2010 නොවැම්බර් 20 දින ඉතාලියේ සාන්ත ලෝරන්ස් බැසිලිකාවේදී කාදිනල්වරයෙකු ලෙස පත්වීම් ලදහ. ඒ අනුව, මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ ශ්‍රී ලංකාවේ කාදිනල් තනතුර දැරීමේ ආශීර්වාදය ලත් දෙවන පියතුමා වෙති. උන් වහන්සේ ජාතික තලයේ මෙන්ම ජාත්‍යන්තර තලයේද තනතුරු රැසක් හෙබ වූ අතර, ජාත්‍යන්තර රැස්වීම් රැසක සභාපති ධුරයද දැරූහ.

ජාත්‍යන්තර සම්මාන රැසකින්ද පිදුම් ලද එතුමාණෝ, ඇමරිකා එක්සත් ජනපදයේ තෝමස් ඇක්වයිනාස් විද්‍යාලයෙන් ආගමික අධ්‍යාපන ක්ෂේත්‍රයේ තෝමස් ඇක්වයිනාස් පදක්කමද, 2008 වසරේ සංස්කෘතික ක්ෂේත්‍රයේ ජයග්‍රහණ සඳහා ඉතාලි ජනරජයේ ජනාධිපතිවරයා විසින් පිරිනමන ලද, 7 වන  Giuseppe Sciacca ජාත්‍යන්තර සම්මානයද ලබා ගත්හ. ලේඛකයකුද වන එතුමා සඟරා සහ පුවත්පත් සඳහාද ලිපි ගණනාවක් සම්පාදනය කර තිබේ.

මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනායක හිමිපාණන් වහන්සේ සහ ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නායක හිමිපාණන් වහන්සේ මෙහිදී සුබපැතුම් එක් කළහ.

ත්‍රෛනිකායික මහා සංඝරත්නය, සර්වාගමික පූජකවරුන්, ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ සභාපති හැරල්ඩ් ඇන්තනී පෙරේරා, වතිකාන අපෝස්තලික මෙහෙයුම් ප්‍රධානී මොන්සිග්නෝර් රොබර්ටෝ ලුකිනි, කොළඹ සහායක රදගුරු මැක්ස්වෙල් සිල්වා, කොළඹ සහායක රදගුරු ඇන්තනී ජයකොඩි යන රදගුරුතුමන් ඇතුළු කතෝලික පියතුමන්ලා, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, මැතිඇමතිවරු, ත්‍රිවිධ හමුදාපතිවරු, වැඩබලන පොලිස්පති, තානාපතිවරුන් ඇතුළු ආරාධිතයෝ රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved