චීනය මේවන විට සෑම වසරකදීම ශ්‍රී ලාංකික සිසුන් 1,200 කට අධික සංඛ්‍යාවකට පූර්ණ ශිෂ්‍යත්ව, එක්වර ශිෂ්‍යත්ව සහ කෙටි කාලීන පුහුණුවීම් ලබාදෙන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති – චී ජන්හොං මහතා පවසයි.
ඒ මහතා මේ බව කියා සිටියේ 2023/2024 වසර සඳහා ශ්‍රී ලාංකික සිසු සිසුවියන් පිරිසකට චීනයේ ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට පසුගියදා කොළඹ චීන තානාපති කාර්යාලයේ පැවැති උත්සවයකදීය.
මෑත වසරවලදී, දෙරට අතර සෑම තරාතිරමකම හුවමාරු කිරීම් අඛණ්ඩව වැඩිවෙමින් පවතින අතර, දේශපාලනය, ආර්ථිකය, වෙළඳාම සහ සංස්කෘතිය වැනි විවිධ ක්ෂේත්‍රවල සහයෝගිතාව අඛණ්ඩව ගැඹුරු වී ඇතැයි ද ඔහු කීය.
චීන රජය ශිෂ්‍යත්ව පිරිනැමීම ආරම්භ කළ 1975 වසරේ සිට මෙරට සිසුසිසුවියන් 4,000 කට ආසන්න පිරිසකට චීනයේ අධ්‍යාපනය ලැබීමට අනුග්‍රහය දක්වා ඇතැයි ද ඔහු හෙළිකළේය.
අගෝස්තු 16දා පැවති 2023/2024 වසර සඳහා ශ්‍රී ලාංකික සිසු සිසුවියන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ අවස්ථාවට, ශ්‍රී ලංකාවේ චීන තානාපති – චී ජන්හොං මහතාට අමතරව ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්‍ය – ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා, තානාපති කාර්යාලයේ සංස්කෘතික අංශයේ මෙන්ම අමාත්‍යංශයේ නිලධාරීන්ද එක්ව සිටියහ.
මෙම වසරේ, ශ්‍රී ලංකාවෙන් සිසු සිසුවියන් 30 දෙනෙකු හට (ආචාර්ය උපාධි, ශාස්ත්‍රපති උපාධි හා මූලික උපාධි සඳහා) පිරිනමා ඇති බව චීන තානාපති කාර්යාලය පවසයි.
2025ට පාසල් නිල ඇඳුම් නොමිලේ දෙන්නත් කොළ එළියක් – අධ්‍යාපන ඇමති
චීනය – ශ්‍රී ලංකාව අතර කාලාන්තරයක් පුරාවට පවතින සබඳතා සිහි කළ අධ්‍යාපන අමාත්‍ය – සුසිල් ප්‍රේමජයන්ත මහතා, මෙම සිසුසිසුවියන් ගේ උසස් අධ්‍යාපනය සඳහා ශිෂ්‍යත්ව ලබාදීම සම්බන්ධයෙන් මහජන චීන සමූහාණ්ඩුවට එහිදී සිය ස්තූතිය පළ කර සිටියේය.
ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේ චීනය සිය ඉල්ලීමකට අනුව මෙරට පාසල් සිසුසිසුවියන් මිලියන 4.1ක ප්‍රමාණය සඳහා 2023 වසරට පාසල් නිල ඇඳුම්වලින් 70%ක ප්‍රමාණයක් නොමිලේ ලබාදීමට කටයුතු කළ බවත්, පසුව තමා 2024 සඳහා ද නොමිලේ පාසල් නිල ඇඳුම් ඉල්ලා සිටි බවත්, එයටද මෙරට සිටින චීන තානාපතිවරයාගේ සහයෝගය මත 80% ක ප්‍රමාණයක් නොමිලේ ලබාගත හැකිවූ බවයි.
එසේම තමා 2025 සඳහා ද නොමිලේ පාසල් නිල ඇඳුම් ලබා ගැනීමට චීන මහජන සමූහාන්ඩුවෙන් ඉල්ලීමක් කර ඇතැයි ද එයට ද මේවන විට කොළ එළියක් දැල්වී ඇතැයි අමාත්‍යවරයා කීය.
මෙවර එහි සියයට සියයම නොමිලේ ලැබෙනු ඇතැයි තමා අපේක්ෂිත බවද ඔහු කීය.
රජයේ සහ රජයේ ආධාර ලබන පාසල්වල ශිෂ්‍ය ශිෂ්‍යයාවන් මෙන්ම රජය අනුමත පිරිවෙන්වල ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා, සීලමාතාවන් සහ ගිහි සිසුන් මෙම නොමිලේ නිල ඇඳුම් හිමිකම ලබන බවද ඔහු එහිදී අවධාරණය කළේය.
එසේම තමා චීන මහජන සමූහාන්ඩුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 20ක ආධාරයක් ලබා ගැනීමට ද සමත්ව ඇතැයි ඔහු කීය. ඒ මෙරට සිසුසිසුවියන්ගේ තොරතුරු තාක්ෂණ දැනුම දියුණු කිරීමට බවද අමාත්‍යවරයා පැවසීය. ඉන් දිවයින පුරා පාසල් 1250 ක් ජාලගත කළ හැකිව ඇතැයි ඔහු සඳහන් කළේය.
(ඡායා : කැළුම් ශිවන්ත)