Connect with us

ඡායාරූප සටහන

“සමහර රටවල් ශ්‍රී ලංකාවේ දුෂ්කරතාවයෙන් ප්‍රයෝජන ගෙන අපේ මිතුරන්ට විශාල පීඩනයක් දුන්නා”

Published

on

චීනය ඇතුළු රටවල් වල විද්‍යාත්මක පර්යේෂණ යාත්‍රා ලංකාවට ඇතුළු නොකිරීමට ගත් තීන්දුව ‘රාජ්‍ය තාන්ත්‍රික ජයග්‍රහණයක්’ ලෙස ඇතැම් රටවල් සැලකූ බව ශ්‍රී ලංකාවේ සිටින ඉහළ පෙළේ චීන රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙක් පැවසීය.

කොළඹ චීන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී – යැන්වෙයි ජූ මහතා ඊයේ (සැප්. 12) කොළඹ වරාය නගරයේ දී මාධ්‍යවේදීන් පිරිසක් සමඟ පැවැති සාකච්ඡාවකදී මේ තීන්දුව සම්බන්ධයෙන් චීන සමාජ මාධ්‍ය තුළ පුළුල් කතිකාවතක් ඇති වී තිබුණු බවද කියා සිටියේය.

මිත්‍ර රටක් ලෙස ශ්‍රී ලංකාව මෙවැනි ක්‍රියාමාර්ගයක් ගැනීමට හේතුවූයේ ඇයිද පිළිබඳව චීන ජනතාව ප්‍රශ්ණ නගා තිබූ බව යැන්වෙයි මහතා මෙහිදී පැවසීය.

ස්වාධීන හා ස්වෛරී රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව ගත් තීරණයට චීනය සම්පූර්ණයෙන්ම ගරු කරන නමුත්, මෙම තීන්දුව ශ්‍රී ලංකා රජය විසින් ස්වාධීනව ගනු ලැබුවක්ද යන්න පිළිබඳව ගැටළු සහගත බව ඔහු පැවසීය.

“මේ තීරණය ශ්‍රී ලංකා රජය විසින් ගෙන තිබුණේ ස්වාධීනවද නැත්නම් බාහිර බලපෑම් නිසාද කියන එක තවත් ගැටළුවක්. අපිටත් කටකතා ගොඩක් ආරංචි වුණා… ඒ නිසා ශ්‍රී ලංකා රජය එවැනි තීරණයක් ගන්නා විට චීනය නිහඬව සිටියා.. මොකද අපි අපේ මිතුරාට ගරු කරනවා… පහුගිය වසර දෙකක් පුරාවට අපේ මිතුරා මුහුණදෙන අසීරු තත්ත්වය අපට තේරෙනවා… සමහර රටවල් ශ්‍රී ලංකාවේ දුෂ්කරතාවයෙන් ප්‍රයෝජන ගෙන අපේ ශ්‍රී ලාංකික මිතුරන්ට විශාල පීඩනයක් දුන්නා…”

සිය මිතුරන්ව අපහසුතාවයට පත් කිරීමට අකමැති බැවින් චීනය නිශ්ශබ්දව සිටි බව ඔහු පැවසීය.

කෙසේ වෙතත්, ‘සමහර මිතුරන්’ විද්‍යාත්මක පර්යේෂණ යාත්‍රා තහනම් කිරීමට ගත් තීරණය ‘රාජ්‍ය තාන්ත්‍රික ජයග්‍රහණයක්’ ලෙස සැලකූ බව යැන්වෙයි මහතා පැවසීය.

සැබෑම මිත්‍රයා හා හවුල්කරුවා චීනය බව ඉතිහාසය සහ අනාගතය විසින් ශ්‍රී ලාංකික මිතුරන්ට ඔප්පු කරනු ඇති බවත්, ශ්‍රී ලංකාව සමඟ ඉදිරියටත් එකට ගමන් කිරීමට සූදානම් බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

නෞකා විසින් සිදුකරන පර්යේෂණ චීනය විසින් තනිව සිදු කරන්නක් නොව, එම පර්යේෂණ තනිවම සිදු කිරීමට හැකියාවක් නොමැති ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් සිදු කරන්නක් බවත් ඔහු පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාව සමඟ මේ ආකාරයෙන් ඒකාබද්ධ පර්යේෂණ සිදුකිරීමට හැකියාව සහ කැමැත්ත ඇති වෙනත් රටක් ඇතිදැයි ඔහු ප්‍රශ්න කළේය.

ශ්‍රී ලංකාවේ අවසරයකින් තොරව මෙම පර්යේෂණයේ තොරතුරු කිසිවකු සමඟ බෙදාගත නොහැකි බවද ඔහු අවධාරණය කළේය.

මේ අතර, මාධ්‍යවේදීන් අමතමින් ශ්‍රී ලංකාවේ චීන තානාපති – චී ජන්හොං මහතා යළිත් අවධාරණය කර සිටියේ චීනය හා ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය වසර 2,000ක අතීතයක් දක්වා දිවෙන බවයි.

ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත මැතිවරණය පිළිබඳව අදහස් දක්වමින් තානාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ චීනය සමඟ සබඳතා ශක්තිමත් කිරීමට ලංකාවේ නව රජය සූදානම් නම්, මිත්‍රත්වය හා සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සඳහා චීනය සැමවිටම කැමැත්තෙන් සිටින බවයි.

ඡායාරූප – ශානිකා ජයසේකර । කැළුම් ශිවන්ත

ඡායාරූප: කැලුම් ශිවන්ත | ශානිකා ජයසේකර)

ඡායාරූප සටහන

උතුරේ උ/පෙළ විශිෂ්ටයන් ඇගයේ (ඡායා)

Published

on

By

පසුගිය 2023/2024 අ.පො.ස උසස් පෙළ විභාගයේදී දිස්ත්‍රික් මට්ටමින් ඉහළ දක්ෂතා දැක් වූ විශිෂ්ටයන්  ඇගයීමේ වැඩසටහනක් ජනාධිපති අරමුදල විසින් ආරම්භ කර තිබෙන අතර, ඒ අනුව උතුරු පළාතේ 2023 අ.පො.ස උසස් පෙළ විභාගයෙන් විශිෂ්ටතා දැක්වූ සිසුන් ඇගයීම අද (22) පෙරවරුවේ ඉරණමඩු නෙළුම් පියස ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙහිදී යාපනය, කිළිනොච්චිය, මුලතිව්, මන්නාරම සහ වව්නියාව යන දිස්ත්‍රික්කවල 2023 අ.පො.ස උසස් පෙළ විභාගයේදී, එක් එක් විෂය ධාරාවලින් ඉහළ ප්‍රතිඵල ලබාගත් සිසුන් 10 දෙනෙකු වශයෙන්,  දිස්ත්‍රික්කයකින් 60 දෙනෙකු බැගින් තෝරා ගෙන සිසුන් 300 දෙනෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ දිරි දීමනාවක් පිරිනැමීම සිදු කෙරිණි. මේ සඳහා ජනාධිපති අරමුදල වැය කර ඇති මුදල රුපියල් මිලියන 30කි.  ඉදිරියේදී මෙම වැඩසටහන සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සඳහන් කළේ නව රජය බලයට පැමිණීමෙන් පසු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති අරමුදල විධිමත් කරමින් එහි සේවා පුළුල් කිරීමටත්, විනිවිදභාවය ඇති කිරීමටත් කටයුතු කර තිබෙන බවයි. අතීත භාවිතයන් තුළ තිබු වැරදි, නිවැරදි කරමින් අද සැබෑ ලෙසම එහි ප්‍රතිලාභ ලැබිය යුතු පිරිස් වෙත ලබා දීමට කටයුතු කර තිබෙන බව පෙන්වා දුන් ජනාධිපති ලේකම්වරයා ජනාධිපති අරමුදලේ සේවා වඩා කාර්යක්ෂම කිරීම සඳහා එය ඩිජිටල්කරණය කිරීමට මෙන්ම ප්‍රාදේශීය වශයෙන් විමධ්‍යගත කිරීමටද මේ වන විට කටයුතු කර තිබෙන බව සඳහන් කළේය.

දරුවන්ට ජීවිතය ජය ගැනීමට තිබෙන ප්‍රධානතම මෙවලම අධ්‍යාපනය බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා, දරුවන් වෙත හිමි වන මෙම ප්‍රතිලාභය නිසි ලෙස ප්‍රයෝජනයට ගෙන අධ්‍යාපනයේ විශිෂ්ටයන් ලෙස මෙන්ම යහපත් පුරවැසියන් ලෙස  ජීවිතය ජය ගෙන, රටත්, ජාතියත් ජයග්‍රහණය කරවීමට දරුවන් කටයුතු කළයුතු බව වැඩිදුරටත් සඳහන් කළේය.

කතානායක ජගත් වික්‍රමරත්න, ධීවර ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් යන මහත්වරුද මෙම උත්සව සභාව ඇමතූහ.

මෙහි ස්තූති කතාව, යාපනය  හින්දු විද්‍යාලයේ අභිෂේක් සිසුවා විසින් සිදු කළ අතර, මෙම වැඩපිළිවෙළ ආර්ථික අපහසුතා ඇති සිසුන්ට උසස් අධ්‍යාපනය සාර්ථක කර ගනිමින් ජීවිතය ජය ගැනීමට ලැබුණු මහඟු අවස්ථාවක් බවත්, ඒ වෙනුවෙන් ජනාධිපතිවරයාටත්, ජනාධිපති අරමුදලටත් බෙහෙවින් ස්තූතිවන්ත වන බවත් සඳහන් කළේය.

උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේතනායහන්, සමුපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කේ. ඉලංකුමරන්, රජීවන් ජෙයචන්ද්‍රමූර්ති, එම්. ජගදීස්වරන් යන මහත්වරු ඇතුළු මහජන නියෝජිතයන්ද, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති අරමුදලේ ලේකම් රෝෂන් ගමගේ මහතා ඇතුළු ජනාධිපති අරමුදලේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහ රාජ්‍ය නිලධාරින්, ආරක්ෂක අංශ ප්‍රධානින්, දෙමාපියන් සිසු දරුවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(ජනාධිපති මාධ්‍ය අංශය)

Continue Reading

ඡායාරූප සටහන

දුටුවන් මුසපත් කරන සේද මාවතේ මහා කඩමණ්ඩිය (ඡායා / වීඩියෝ)

Published

on

By

ෂින්ජියැං ජාත්‍යන්තර ග්‍රෑන්ඩ් බසාර් (Xinjiang International Grand Bazaar) යනු ප්‍රමාණයෙන් ලොව විශාලතම කඩමණ්ඩියයි.

ඉස්ලාමීය සංස්කෘතිය, ගෘහ නිර්මාණ ශිල්පය, ජනවාර්ගික වාණිජ්‍යය, සංචාරක ව්‍යාපාරය සහ විනෝදාස්වාදය ඒකාබද්ධ කරන ස්ථානයක් ලෙස මේ කඩමණ්ඩිය ප්‍රකටය.

Urumqi හා ෂින්ජියැං හි වඩාත් ප්‍රසිද්ධ සන්ධිස්ථානවලින් එකක් වන මේ කඩමණ්ඩියේ ඉදිකිරීම් 2002 අගභාගයේදී අවසන් කළ බව පැවසෙන අතර එය මහජනතාව සඳහා විවෘත වී ඇත්තේ 2003 ජුනි 26 වැනිදාය.

Urumqi පුරාණ සේද මාවතේ පිහිටා ඇති නගරයක් වන අතර එහි  වසර දහස් ගණනක් තිස්සේ විශාල කඩමණ්ඩියක් පැවැති බව ලෝක ඉතිහාසය සාක්ෂිදරයි.

එහි ඉදිකිරීම් ප්‍රදේශය වර්ග මීටර් 100,000 කට ආසන්න වන අතර වෙළඳසැල් 3,000 කට වැඩි ප්‍රමාණයක් ඇති බව පැවසේ.

ග්‍රෑන්ඩ් බසාර්හි වාස්තු විද්‍යාත්මක ශෛලිය විශ්මයජනක සහ අතිශයින්ම ඉස්ලාමීය එකකි.

ග්‍රෑන්ඩ් බසාර් වෙත පැමිණීම මධ්‍යම ආසියාවේ වෙළඳපොළක් හරහා ඇවිදීම හා සමාන බැව් සංචාරකයන්ගේ මතය වේ.

ග්‍රෑන්ඩ් බසාර් වෙත ඇතුළු වන්නෙකුට, චතුරශ්‍රයේ මධ්‍යයේ මීටර් 100 ක් පමණ උස වටකුරු කුළුණක්  දැකගත හැකි වේ.

එය ග්‍රෑන්ඩ් බසාර් හි වඩාත් ප්‍රසිද්ධ ආකර්ෂණය වන අතර එය සේද මාවතේ දර්ශන කුළුණ ලෙස නම් කර ඇත.

එම කුළුණේ සෑම මහලකම සේද මාවතේ ඓතිහාසික කතාව සිතුවම් කර තිබේ.

කුළුණ මුදුනේදී, උරුම්කි නගරයේ පරිදර්ශක දසුනක් දැකගැනීම උගහට නොවේ.

චතුරස්‍රයේ දෙපසම උයිගර් විලාසිතාවේ පදික වීදි දැක ගැනීමට හැකිවන අතර රසවත් ෂින්ජියැං පලතුරු වර්ග, විවිධ කජු වර්ග මෙන්ම වියළි පළතුරු වෙළෙන්දන්ගෙන් ද පිරී තිබේ.

සමහර ජනවාර්ගික සංගීත භාණ්ඩ, අත්කම් භාණ්ඩ සහ පින්තාරු කරන ලද රබන් ආදිය ද  මිලදී ගැනීමට මෙහිදී අවස්ථාව උදාවේ.

මේ කඩමණ්ඩියේ වැඩි ඉල්ලුමක් ඇත්තේ කාපට්, සේද හා අත්කම් වලටය.

ඒ සින්ජියැං කාපට් ඒවායේ කලාත්මක සුන්දරත්වය සහ ශිල්පීය හැකියාව ප්‍රකට කර ඇති නිසාය.

එසේම ලොම් වලින් සාදන ලද ඒවායේ දීප්තිමත් වර්ණ සහ මෝස්තර උයිගර් ජනතාව පිළිබිඹු කරයි.

උයිගර් ජනතාව විසින් පැළඳ සිටින දේශීය රෙදිපිළි අතර “ඇට්ලස් සිල්ක්” එහි දීප්තිමත් වර්ණ සඳහා ප්‍රසිද්ධය.

මෙම සේද රෙදි ඉතා මෘදු වන අතර දේශීය ජනතාව ඔවුන්ගේ ඇඳුම් සඳහා මෙන්ම ඔවුන්ගේ නිවාසයන්හි අභ්‍යන්තර අලංකරණයක් ලෙසද ඒවා භාවිතා කරයි.

උයිගර් ජනවාර්ගික සුළුතර කණ්ඩායමට අද්විතීය සංස්කෘතියක් ඇති අතර ඔවුන්ගේ අත්කම් චීනයේ වෙනත් තැන්වල දක්නට නොලැබෙන වෙනස් ඒවාය.

ඔවුන්ගේ ගෙතූ ඇඳුම්, එම්බ්‍රොයිඩර් සහ ජේඩ් කැටයම් නිර්මාණ මනස්කාන්ත සිත් ගන්නා සුළු ඒවාය.

දේශීය උයිගර්වරු සාප්පු ඉදිරිපිට ඔවුන්ගේ ජන සංගීතය වයන සංගීත කණ්ඩායම් මෙන්ම නර්තනයේ යෙදෙන ලලනාවන්ද එහි සුලබ දසුනකි.

නාන් කෞතුකාගාරය මෙම කඩමණ්ඩියේ තවත් ප්‍රධාන ආකර්ෂණීය තැනකි.

ෂින්ජියැං හි නාන් සඳහා දිගු ඉතිහාසයක් ඇති අතර එය ෂින්ජියැං හි වාර්ගික සුළුතරයන්ගේ ප්‍රධාන ආහාරයයි.

ග්‍රෑරෑන්ඩ් බසාර් හි නාන් කෞතුකාගාරය ෂින්ජියැං  පුරා සිටින ජනයා ආහාරයට ගන්නා නාන් වර්ග 100 කට වඩා ප්‍රදර්ශනය කරයි.

සටහන හා ජායාරූප හා වීඩියෝව –
කැළුම් ශිවන්ත (ෂින්ජියැං – Urumqi සිට)

Continue Reading

ඡායාරූප සටහන

රත්නපුර – කොළඹ ප්‍රධාන මාර්ගය අවහිර කළ බිහිසුණු අනතුර  (ඡායා)

Published

on

By

රත්නපුර – කොළඹ ප්‍රධාන මාර්ගයේ මීන්නාන ප්‍රදේශයේ බස් රථයක් සහ බහාලුම් රථයක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක් සිදුව තිබේ.

අනතුර අද (18) උදෑසන සිදුව ඇති අතර, අනතුරින් පසුව කොළඹ – රත්නපුර ප්‍රධාන මාර්ගය පැයක පමණ කාලයක් වාහන ගමනාගමනයට අවහිර වී තිබුණි.

අනතුරින් තුවාල ලැබු 18 දෙනෙකු පමණ ඇහැළියගොඩ රෝහලට ඇතුළත් කර ඇත.

ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන අතර අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ඇහැළියගොඩ පොලීසිය විසින් සිදුකරනු ලබයි.

ඡායා – Accident 1st

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved