Connect with us

ඡායාරූප සටහන

ජාතික රණවිරු සැමරුම් උත්සවයේ විශේෂ අවස්ථා (ඡායා)

Published

on

ජාතික රණවිරු සැමරුම් උත්සවය බත්තරමුල්ලේ පිහිටි රණවිරු ස්මාරකය අසලදී අද (19) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙහිදී යුද මෙහෙයුම්වලදී  දිවිපිදූ ආරක්ෂක අංශවල සාමාජිකයින් සිහිපත් කරමින් පුෂ්පෝපහාර සිදු කරනු ලැබීය.

මේ උත්සවයට ජනපතිවරයාට අමතරව මැතිඇමතිවරුන්, ආරක්ෂක ප්‍රධානීන් හා දිවි පිදු රණවිරුවන්ගේ ඥාතීන් ද ඒක්ව සිටියහ.

ජාතික රණවිරු සැමරුම වෙනුවෙන් අද දින පාර්ලිමේන්තුව අවට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් හා විශේෂ රථවාහන වැඩපිළිවෙලක් යොදා තිබිණි.

මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කරණ ලද මාධ්‍ය නිවේදනය පහත දැක්වේ.

14 වන අභිමානවත් ජාතික රණවිරු සැමරුම ජනපති, අගමැති ප්‍රධානත්වයෙන් 

ජාතික රණවිරු සැමරුම් උත්සවය සේනාධිනායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(19) පස්වරුවේ බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියසදී අභිමානවත්ව පැවැත්විණි. 

දශක තුනක කාලයක් පැවති එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජය කර වීරෝධාර රණවිරුවන් අත්කරගත් යුද විජයග්‍රහණයට අදට වසර 14ක් සපිරේ.  එහිදී යුද, ගුවන්, නාවික, පොලිස් සහ සිවිල් ආරක්ෂක බලකායේ වීරෝධාර රණවිරුවෝ 28,619 දෙනෙක් මව්බිමේ නිදහස වෙනුවෙන් දිවි පිදූහ. ආබාධිත වූ රණවිරුවෝ 27,000කට අධිකය. ඔවුන් වෙනුවෙන් ජාතියේ ප්‍රණාමය පළ කරමින් ජාතික රණවිරු සේවා අධිකාරිය විසින් 2023 ජාතික රණවිරු සැමරුම් උළෙල අභිමානවත්ව සංවිධානය කර තිබිණි. 

ජාතික ගීය වාදනයෙන් පසු ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යතුමා ඇතුළු පිරිස, දිවි පිදු රණවිරුවන් සිහිපත් කරමින් විනාඩි දෙකක නිහඬතාවක නිරත වූහ. 

සර්ව ආගමික වතාවත් මධ්‍යයේ උත්සවයේ කටයුතු ආරම්භ වූ අතර රටේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාව සුරක්ෂිත කිරීමට සිය ජීවිත පරිත්‍යාග කළ යුද, ගුවන් හා නාවික හමුදාවන්හි, පොලිසියේ සහ සිවිල් ආරක්‍ෂක බළකායේ විරෝධාර රණවිරුවන්ගේ සදාතනික මතකයන් හා වීරත්වය ඇගැයීම සඳහා විශේෂ රණ බෙර වාදනයක් ද පැවැත්විණි.

අනතුරුව ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යතුමා, කථානායක මහින්ද යාපා අබේවර්ධන, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් යන මහත්වරු ඇතුළු මැති ඇමතිවරු, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති  ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්වරු ප්‍රමුඛ  ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා හා  ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ඇතුළු හිටපු ත්‍රිවිධ හමුදාපතිවරු, රණවිරුවෝ සහ රණවිරු පවුල්වල  සාමාජිකයෝ රණවිරු ස්මාරකය පාමුල මල්කළඹ තබා රණවිරුවන්ට උත්තමාචාරය පුද කළහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2023-05-19

ඡායාරූප සටහන

විදුලිබල ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත ගැසට් කෙරේ

Published

on

By

විදුලිබල ප්‍රතිසංස්කරණ සංශෝධිත පනත් කෙටුම්පතට අදාළ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.

සිය x ගිණුමේ සටහනක් තබමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඒ බව සඳහන් කර ඇත.

අමාත්‍යවරයා සඳහන් කරන්නේ,එය ඉදිරි සතිය තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවය.

Continue Reading

ඡායාරූප සටහන

පිකෝ ට්‍රේල් (Peko Trail) මංපෙත හරහා ඇවිද ගිය ජනපති

Published

on

By

නුවරඑළිය සුන්දර කඳුකරය ආශ්‍රිතව යළි පිබිඳෙන සංචාරක කාර්මාන්තය පිළිබඳ සොයා බලමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (16) පෙරවරුවේ නුවරඑළිය උඩුපුස්සැල්ලාව වැවිලි සමාගමට අයත් කෝට් ලොජ් වතු යායේ සංචාරයක නිරත විය.

“පිකෝ ට්‍රේල්” (Peko Trail) මංපෙත හරහා ජනාධිපතිවරයා පා ගමනින් මෙම සංචාරයට එක් වීම විශේෂත්වයකි.

“පිකෝ ට්‍රේල්” යනු ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරය හරහා දිවෙන කිලෝ මීටර් 300ක පමණ කඳු නැගීමේ මාර්ගයකි. එය ආසියාවේ හොඳම රහසිගත මාර්ගවලින් එකක් ලෙස සැළකේ.

“පිකෝ ට්‍රේල්” නම් මෙම මංපෙත සුප්‍රසිද්ධ මහනුවර නගරයෙන් ආරම්භ වී දකුණු දෙසින් හැටන් සහ හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය දෙසට ගමන් කරයි.ඉන්පසු එය හපුතලේ සහ ඇල්ල හරහා නැගෙනහිර දෙසට ගමන් කර සුන්දර නුවරඑළිය නගරය වටා ගමන් කර අවසන් වේ. මෙම මාර්ගය බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේදී විශාල වතුවල සිට කර්මාන්තශාලා වෙත තේ ප්‍රවාහනය කිරීම සඳහා භාවිතා කරන ලද්දකි.

“පිකෝ ට්‍රේල්” මාර්ගය ඔස්සේ කිලෝමීටර 3.2ක පමණ දුරක් පාගමනින් ඇවිද ගිය ජනාධිපතිවරයා කෝට් ලොජ් වතුයායේ සේවයේ නිරතව සිටින කම්කරු ජනතාවගේ ද තොරතුරු විමසමින් සුහද කථා බහක නිරත විය.

එම ජනතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව මහත් හරසරින් පිළිගත් අතර ජනාධිපතිවරයා ලැබුවා වූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ඔවුන්ට තම සුබපැතුම් පිළිගැන්වීය.

බ්‍රවුන්ස් වැවිලි සමාගම යටතේ පාලනය වන කෝට් ලොජ් වතු යාය හෙක්ටයාර 264ක් වන අතර මුළු සේවක සංඛ්‍යාව 349කි. එම වතු ජනතාව මුහුණ දී සිටින අධ්‍යාපන, සෞඛ්‍ය ගැටළු ඇතුළු මූලික අවශ්‍යතා පිළිබඳ සොයා බැලූ ජනාධිපතිවරයා විශේෂයෙන්ම උසස් පෙළ විභාගයෙන් පසුව පාසල් අධ්‍යාපනය අවසන් කරනු ලබන වතු කම්කරු ප්‍රජාවගේ දරුවන්ගේ අනාගතය සම්බන්ධයෙන්ද විශේෂ අවධානයක් යොමු කළේය.

එසේම වතු ජනතාවගේ නිවාස ගැටළුව පිළිබදව ද ජනාධිපතිවරයාගේ විශේෂ අවධානයක් යොමු විය.

කෝට් ලොජ් වතු යායේ පිහිටා ඇති කර්මාන්ත ශාලාවේ “ලයිට් බ්‍රයිට් – Light Bright” නම් තේ වර්ගය නිෂ්පාදනය කරනු ලබන අතර එහි ද නිරීක්ෂණ චාරිකාවක නිරත වූ ජනාධිපතිවරයා කර්මාන්තශාලාවේ සේවක පිරිස සමඟද සුහද කතාබහක නිරත විය.

කඳු නැගීමට පැමිණෙන සංචාරකයන්ට රසවත් නැවුම් තේ කෝප්පයක් රස විදීමට අවස්ථාව නිර්මාණය කිරීම පිළිබඳවද එහිදී ජනාධිපතිවරයා අවධානය යොමු කළේය.

අනතුරුව “පිකෝ ට්‍රේල්” හරහා මෙරට කඳුකරය ආශ්‍රිත සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ හැකියාව පිළිබඳව ද ජනාධිපතිවරයා සොයා බැලීය.

“පිකෝ ට්‍රේල්” ව්‍යාපෘතියේ නිර්මාතෘවරයා වූ ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ වසර ගණනාවක් පුරා කඳු තරණය කළ, ධාවන උපදේශක මිගෙල් කුනාට් (Miguel Cunat) මහතා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ ශ්‍රී ලංකාව ලෝකයේ හොඳම කඳු නැගීමේ ගමනාන්තයක් ලෙස ජාත්‍යන්තර සිතියමට එක් කළ හැකි බවයි.

“පිකෝ ට්‍රේල්” මං මාවත ඔස්සේ පා ගමනින් ගොස් ශ්‍රී ලංකාව පුරා විවිධ භූමි ප්‍රදේශ, මෙරට ඉතිහාසය, සංස්කෘතිය, දේශීය ආහාර පාන පිළිබඳ සුවිශේෂී අත්දැකීම් ලබා ගැනීමට සංචාරකයින්ට අවස්ථාව සැලසේ. පිකෝ ට්‍රේල්” සංචාරක මාර්ගය අදියර 22 කින් සමන්විත වන අතර එක් දිනක් හෝ දින ගනණාවක් ගත කළ හැකි සංචාරක අත්දැකීමකි.

ශ්‍රී ලංකාවේ ජාතික සංචාරක ක්‍රමෝපායන් වෙනුවෙන් සහාය දැක්වීමේ අරමුණෙන් ක්‍රියාත්මක “පිකෝ ට්‍රේල්”සඳහා යුරෝපා සංගමයේ (EU) සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) සහාය ද ලැබී තිබෙන අතර තිරසාර පාරිසරික සංවර්ධනය වැනි කරුණු ද ඊට ඇතුළත් වේ.

ත්‍රාසජනක අත්දැකීම් සොයා යන්නන් වැනි නව සංචාරක භූමිකාවක් ශ්‍රී ලංකාවට ආකර්ශණය කර ගැනීම හා සහ ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.

“පිකෝ ට්‍රේල්” ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා ලබාදුන් සහාය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය ස්තූතිය පළ කළ මිගෙල් කුනාට් මහතා සංචාරක කර්මාන්තයේ නව පරිවර්තනයක් තුළින් මෙරට ආර්ථිකය නාගාසිටුවීමට ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළද අගය කළේය.

Continue Reading

ඡායාරූප සටහන

අවුරුදු නැකැත් සීට්ටුව ජනපතිට පිළිගන්වයි  (ඡායා)

Published

on

By

සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුව සාම්ප්‍රදායික, චාරිත්‍රානුකූලව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දි සිදු විය. 

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ රාජ්‍ය නැකැත් කමිටුව විසින් සකස් කරන ලද නිවැරදි නැකැත් සීට්ටුව මෙලෙස ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබීය. 

චිරාගත පිළිවෙත් අනුව අඬබෙරකරු සමඟ පැමිණි නැකැත්කරු රැගෙන ආ නැකැත් සීට්ටුව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා විසින් ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.

අලුත් අවුරුදු උදාව, පුණ්‍ය කාලය, ආහාර පිසීම, ලිප ගිනි දැල්වීම, ආහාර අනුභවය, හිසතෙල් ගෑම සහ නව වසරේ රැකියා සඳහා පිටත්ව යාම ආදී සුබ මුහුර්තයන් නැකත් සීට්ටුවට ඇතුළත්ය.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(ජනාධිපති මාධ්‍ය අංශය)

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved