Feb 25, 2018

කච්චතිව් මංගල්යයට ඉන්දු ලංකා බැතිමතුන් විශාල පිරිසක් (ඡායා)

කච්චතිව් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්ලය ඊයේ (24) අලුයම කච්චතිව් දූපතේදී මහත් බැතියෙන් පැවැත්විණ.

දේව මංගල්‍ය වෙනුවෙන් ඉන්දීය බැතිමතුන් හා මෙරට බැතිමතුන් අට දහසක පමණ පිරිසක් සහභාගි වු බව නාවික හමුදා නිළධාරීන් පැවසූහ.

යාපනය දිසාව භාර රඳගුරු ජස්ටින් ඥානප්‍රකාශම් පියතුමාගේ ප්‍රධානත්වයෙන් කිතුණු පියතුමන්ලා හා කන්‍ය සොහොයුරියන් රැසකගේ සහභාගීත්වයෙන් දේව මෙහෙයව පැවැත්විණ.

ශ්‍රී ලංකා රජය හා ඉන්දීය රජය 1974 ඇති කරගත් ගිවිසුම අනුව කච්චතිව් දූපත ශ්‍රී ලංකා රජය වෙත පැවරිණ.කච්චතිව් දූපත වර්ග කිලෝමීටර 1.15 කින් යුතුය.

කච්චතිව් නැවත ඉන්දීය අයිතියට පවරාගන්නා ලෙසට දකුණු ඉන්දීය ධීවර ජනතාව ඉන්දීය මධ්‍යම රජයෙන් අවස්ථා ගණනාවකදී ඉල්ලීම් කළහ.

ඉන්දීය ධීවර ජනතාව හා ශ්‍රි ලංකා ධීවර ජනතාව මහත් බැතියෙන් යුතුව කච්චතිව් ශාන්ත අන්තෝනි දෙව් මැදුරේ පූජාවන් කටයුතු සිදුකරනු ලැබීය.

යාපනය දිස්ත්‍රික් ‍ලේකම් නාගලිංගම් වේදනායගම් මහතා පැවසූවේ නාවික හමුදා නිළධාරීන්ගේ සහයෝගයෙන් යුතුව දේව මෙහෙය වෙනුවෙන් පැමිණි බැතිමතුන් වෙනුවෙන් සියළු පහසුකම් සපයාදී තිබු බවයි.

දේව මංගල්ලයට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි රවීන්ද්‍ර විජේගුණරත්න මහතා, උතුරු නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා මහතා, කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේශ්වරන් මහත්මිය, ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් පි.නටරාජන් මහතා, යාපනය දිස්ත්‍රික් ලේකම් නාගලිංගම් වේදනායගම් මහතා, ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

මාධව කුලසූරිය - වවුනියාව වාර්තාකරු

Kachchathiv 1

Kachchathiv 2

Kachchathiv 3

Kachchathiv 4

Kachchathiv 5

Kachchathiv 6

Kachchathiv 7

Kachchathiv 8

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top