Sathosa

Apr 01, 2018

LTTE නැව ගිල්ලා - ලෝක යුද්ධයේදී ගිලුන නැව ගොඩ ගනියි (ඡායා)

දෙවැනි ලෝක යුද්ධයේ දී ත්‍රිකුණාමලය වරායේ ගිලී ගිය බ්‍රිතාන්‍ය නෞකාවක් වසර 75ට පසු යළි ගොඩගත් බව නාවික හමුදාව පවසයි.
 
 2017 සැප්තැම්බර් 11 වැනි දා ගොඩගැනීම් ආරම්භ කළ මේ නෞකාවේ අවසන් කොටස් සෙනසුරාදා සවස ගොඩගෙන අවසන් කර තිබේ.
 
මේ නැව ගොඩගෙන ඇත්තේ ත්‍රිකුණාමලය වරාය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය හේතුවෙන් මේ නෞකාව  ඉවත්කිරීමේ අවශ්‍යතාවක් පැන නැගීම නිසාය.
 
''සගයින්'' නමින් හැඳින්වෙන මෙම නෞකාව 1924 වර්ෂයේ දෙසැම්බර් 24 වැනි දා මුල්වරට දියත් කර තිබේ. 
 
මගීන් හා භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදා ගැණුනු මේ නෞකාව ත්‍රිකුණාමලය වරායේ නැංගුරම්ලා තිබිය දී ජපාන ගුවන් යානා මගින් එල්ල කරන ලද බෝම්බ ප්‍රහාර හේතුවෙන් ගිනිගෙන විනාශ වී ඇත. 
 
එම ප්‍රහාරයෙන් පසු නැව භාවිතයෙන් අතහැර දමා ඇති අතර 1943 අගෝස්තු 24 වැනි දා බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදාව විසින් අමතර ජැටියක් ලෙස ප්‍රයෝජනයට ගැනීම සඳහා නෞකාව ගිල්වා දමා ඇත.
 
මාස පහෙන් නැව ගොඩ අරං
 
අඩි 35ක් ගැඹුරු මුහුදු පත්ලේ ගිල්වා තිබූ නෞකාව ගොඩට ගෙන ඉවත්කිරීමේ මෙහෙයුම නාවික හමුදාව විසින් 2017 සැප්තැම්බර් 11 වැනි දා ආරම්භ කරන ලදී. 
 
ඒ අනුව නෞකාව ගොඩගැනීමේ දී එහි පළුදු වී තිබූ ස්ථාන කිහිපයක් පිළිසකර කර එහි සැකිල්ල ශක්තිමත් කළේය. තව ද නැවේ පිරී පවතින මුහුදු ජලය ඉවත් කර එය සැහැල්ලු කිරීම සඳහා තාවකාලික ජැටියක් ද නාවික හමුදාව විසින් ඉදිකරන ලදී. 
 
මේ සියලු කාර්යයන් සඳහා ගත වූ කාලය පුරා මාස පහකි.  එය සිදුකරන ලද්දේ නැගෙනහිර නාවික විධාන කිමිදුම් ඒකකය මගිනි. නෞකාව ගොඩගැනීමේ සැලැස්ම විධාන කිමිදුම් නිලධාරීන් විසින් සකස් කරන ලද අතර ප්‍රධාන සුළු නිලධාරී (කිමිදුම්) ඒ.එල්.එන්.එස්.එස්.ලියනගේ මහතාගේ අධීක්ෂණය යටතේ නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් විසින් එම මෙහෙයුම් ක්‍රියාත්මක කළේය.
 
නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ උපදෙස් මත අධ්‍යක්ෂ ජනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ මඟපෙන්වීමෙන් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරිණි. 
 
ලුතිනන් කමාන්ඩර් (කිමිදුම්) සතිෂ්ක පතිරණ සහ ලුතිනන් කමාන්ඩර් ශිරාන් බුද්ධික යන නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් කිමිදුම් අංශයේ නාවිකයන් 98 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් මේ ව්‍යාපෘතියට එක්ව සිටියහ.
 
එමෙන්ම මේ මෙහෙයුම සඳහා නාවික හමුදාවේ මෙහෙයුම් සැපයුම් හා සේවා, ඉංජිනේරු, විදුලි හා විද්‍යුත්, නැව් බඳ කාර්මික සහ වෛද්‍ය සහායක යන අංශවලින් ද විශාල දායකත්වයක් ලැබී ඇත. එමෙන් ම ටෝකියෝ සිමෙන්ති සමාගම මේ සඳහා අවශ්‍ය දොඹකර හා ක්‍රියාකරුවන් ලබාදෙමින් විශාල සහයක් දුන් බව ද නාවික හමුදාව පවසයි.
 
කොළඹ වරායේ ගිල්ලූ LTTE නැව 
 
මේ අතර, පසුගිය මාර්තු 26 වැනිදා එල්ටිටිඊ සංවිධානය විසින් භාවිතා කරන ලද වෙලින් හෙවත් ඒ 522 නෞකව භාවිතා කිරීමට නොහැකි තත්ත්වයේ පැවති හෙයින් එය බටහිර මුහුදු තීරයේදී ගිල්වා දමන ලදී
 
ගිල්වන ලද නෞකව තුල විශාල වශයෙන් කොරල්පර බිහිවිම සහ ජලජ ජිවින් ගැවසීම සිදුවෙනු ඇතැයි නාවික හමුදාව අපේක්ෂා කරන අතර ඒ හේතුවෙන් දේශිය සහ විදේශිය සංචාරකයින් හට කිමිදුම් කටයුතු සිදු කිරීමට හැකි වනු ඇති අතර, එය රටේ සංචාරක ව්‍යාපරයට මහත් රැකුලක් වනු ඇතැයි ද අපේක්ෂා කෙරේ.
 
ඡායා - navy.lk
 
සබැඳි පුවත්

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top