May 10, 2018

අලින්ගේ කැකිරි සාදය (ඡායා)

මේ දිනවල දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් විශාල වශයෙන් කැකිරි අස්වනු ලැබෙමින් පවතී. මේවා අලෙවි නොවීම නිසා දඹුල්ල දිගම්පතහ  රජයේ රක්ෂිතයේ වන අලින්ගේ ආහාර බවට පත් වන අයුරු ඊයේ (09) දැක ගැනීමට හැකි විය.

ලොරි රථවලින් සහ ටිපර් රථවලින් දිගම්පතහ  රජයේ රක්ෂිතයට ගෙනැවිත් දමන කැකිරි  ආහාරයට ගැනීමට 25කින් පමණ යුත් වන අලි රංචුවක් සැදීපැහැදී සිටින ආකාරයත් අඩු තරමේ ටැක්ටර් රථයෙන් කැකිරි ලෝඩ් එක බිමට බෑමටවත් ඉඩ නොදී වන අලින් ඒ  පිටුපස එන ආකාරයත් දැක ගැනීමට හැකිය.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කැකිරි කිලෝවක තොග මිල රුපියල් පහක් 5 ක් වැනි ඉතා අඩු මුදලකි. එම මුදලට හෝ කැකිරි මිලදී ගැනීම සිදු නොවන බව ගොවීහු පෙන්වා දෙති.

පසුගිය කාලයේ මේ ආකාරයෙන් වට්ටක්කා අස්වැන්න අලෙවි කර ගැනීමට නොහැකිව ගොවීන් ඒවා අලින්ට කෑමට ‍මෙන්ම දන්සල්ද දුන්හ. මේ වන විටද වට්ටක්කා කිලෝවක තොග මිල පවතින්නේ ද රුපියල් දහයකටත් වඩා අඩු මුදලකටය. එමෙන්ම කැකිරිවලට අමතරව තවත් එළවළු වර්ග රැසක් වන අලින්ගේ ආහාර බවට පත්වන ආකාරය අප නිරීක්ෂණය කළෙමු.

අනුරාධපුර, මාතලේ, පොළොන්නරුව, කුරුණෑගල, බදුල්ල, මොණරාගල  දිස්ත්‍රික්කවලින් වැඩි වශයෙන් කැකිරි තොග දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන බව වෙළෙන්දෝ පවසති.

 කාංචන කුමාර ආරියදාස - දඹුල්ල වාර්තාකරු

Kekiri1

Kekiri2

Kekiri3

Kekiri4

Kekiri5

Kekiri6

Kekiri7

Kekiri8

Kekiri9

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top