Aug 04, 2018

සරසවි සම්මාන බෙදුන හැටි !  

තිස්හතර වැනි සරසවි සම්මාන උළෙලේ දී 2017 හොඳම චිත්‍රපටය ලෙස  28 චිත්‍රපටය සම්මානයට පාත්‍රවිය.
සම්මාන උළෙල අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ (03) පැවැත්විණි.
 
හෙලයේ අග්‍රගන්‍ය සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා නමින් මෙවර උළෙල නම්කර තිබීම විශේෂත්වයකි. 
 
මෙවර සම්මාන උළෙලේ දී 2016 – 2017 වසර 2 සඳහා සම්මාන 50ක් පිරිනැමූ අතර එහිදී 2017 හොඳම නැගීඑන නිළිය ලෙස සම්මාන දිනාගත්තේ රංගන ශිල්පිනී තිසුරි යුවනිකාය.
 
රංගන ශිල්පී දිනෙත් ද සිල්වා 2017 හොදම නැගී එන නළුවා සම්මානය දිනාගත් අතර 2017 හොඳම නිළියට හිමි සම්මානය දිනාගත්තේ පූජා උමාශංකර් විසිනි.
 
2017 හොඳම සංගීත අධ්‍යක්ෂණයට හිමි සම්මානය ආචාර්ය රෝහණ වීරසිංහයන් දිනාගත් අතර ආදරණීය කතාවක් චිත්‍රපටය වෙනුවෙන් 2016 හොදම ගායිකාව සම්මානය දිනාගත්තේ කුෂානි සඳරේකා විසිනි.
 
අලි කතාව චිත්‍රපටය වෙනුවෙන් විදූෂා නේත්‍රාංජලී 2017 හොදම ගායිකාව සම්මානය දිනාගත්තාය.
 
මෝටර් බයිසිකලය චිත්‍රපටය වෙනුවෙන් අජිත් කුමාරසිරි 2016 හොඳම ගායකයා සම්මානය දිනාගත් අතර 2017 හොඳම ගායකයා ලෙස සම්මාන දිනාගත්තේ දුමාල් වර්ණකුලසූරියයි. ඒ ප්‍රේමය නම් චිත්‍රපටය වෙනුවෙනි.
 
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සිනමාභිමානී සම්මානය සුමිත්‍රා පීරිස් මහත්මිය වෙත පිරිනැමිණි.
 
2017 රනපාල බෝධිනාගොඩ අනුස්මරණ සිනමා සාහිත්‍ය සම්මානය මහාචාර්ය ඩයස් ගුණරත්නට හිමිවූ අතර 2017 රණතිසර සම්මානය ප්‍රවීණ රංගන ශිල්පිනී ශ්‍රියාණි අමරසිංහට හිමිවූවාය.
 
2016 රණතිසර සම්මානය හිමිවූයේ ප්‍රවීණ රංගන ශිල්පී රොබින් ප්‍රනාන්දුටය.
 
කතානායක කරූ ජයසූරිය, අමාත්‍ය මංගල සමරවීර, රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන ලසන්ත අලගියවන්න, රන්ජන් රාමනායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.
 
මූලාශ්‍රය - ITN 
5
6
7
9
10
 
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top