Sathosa

Aug 14, 2018

සාලිය වැව ගර්කින් වගාව සරුසාරයි ! (ඡායා)

පසුගිය වර්ෂයන් වලදී පුත්තලම ඇතුළු ප්‍රදේශයන් රැසකට බලපා තිබූ අධික නියඟයෙන් මුළුමහත් ප්‍රදේශයම ගිනි ගත් වාලුකාවක් බවට පත්ව තිබිණි.

ඇළ, දොළ, ගංඟා සිදී බීමට පවා වතුර බිංදුවක් නොවන තරමට කර්කශ විය.

එකල වැස්ස වලාහක දෙවියන්ගේ දිවෙස් පෙනෙන තෙක් මානයක නොවීය.

මුළු මහත් පරිසරයම අදුරු අප්‍රසන්තා වලා පටලකින් වැසී ගොස් ගොවිතැනට මුළු මනින්ම කණකොකා හඩන්නට විය.

කලගෙඩි කරපින්නාගත් සමහරු බීමට දිය පොදක් සොයා ගව් ගණන් පිය නගණ දසුන් එකළ සුලබ විය.

සරණක් නැති පිහිටක් නැති අසරණයින් හට කර කියා ගන්නට තව දෙයක් ඉතිරි නොවන තරමට වියළි කාලගුණය එන්න එන්නම රුදුරුවිය.

තවත් වරෙක කුරිරු විය. ස්භාව ධර්මයාගේ දඩුවමක් දැයි වරෙක සිතෙන්නට තරම් බියකරු යුගයක් ජනතාවට උදාව තිබිණි.

ගොදුරු ලොබින් ඒ මේ අත සැරිසරණ වන සිව්පාවුන් පිපාසයේ වේදනාව දරාගත නොහැකිව විඩාබර දෙනෙතින් සදහටම මෙලොවින් සමුගෙන යන්නේ ඉරි තැලී ගිය දිය කඩිති නම්නයන් සොහොන් කොත් කර ගෙනමය.


 97135425 cl3kpz raln y 9zophmevbygmrs3ek5szfigu5kfxbftq kacksnvvy0s38pp0jbwfwx1 w1920 h946

Niyagaya

මරණයත් ජීවිතයත් අතර සටනක යෙදෙන තවත් එක්තරා පිරිසක් වනයට කොටු වී සිටීමෙන් තවත් නැත පලක් යැයි සිතා ගම්මානය වෙත ඇදෙන්නට ගන්නේ ඔය අතරය. ගිනි පෙලෙල්ලෙන් බැට කෑ කෙනා කණාමැදිරි එළයටත් බිය වන්නා සේ ජනතාව තව තවත් කුපිතයටත් බියටත් පත්විය.

ඒ වෙන කව්රුත් නිසාවෙන් නොව සාලියවැව පුලියන්කුලම නැමති ගම්මාන වන අලියන්ගේ පැරණි නිජබිම් බවට එවකට ඔවුන් ඒවා තමන් අත්පත් කරගෙන තිබීම නිසාවෙන් අදටත් ඒවාට උරුමකම් කියන්නනේ ඔවුන්ය.

නියඟයෙන් බැටකන සමහරු සාගින්නෙන් පෙලෙන කල ස්භාව ධර්මයාගේ දඩුවමේ තවත් ප්‍රථිඵලයක් ලෙස අලි මිනිස් ගැටුමක්ද එහි නිර්මාණය කරන්නට විය. නියඟය ඒ තරමට දරුණය.

ඒ සියල්ල උඩු යටි කුරු කරමින් වැස්ස වලාහක දෙවියන් පුත්තලමට දිවෙස් හෙළන්නට විය. ‘‘දෙන දෙවියෝ ගෙට ගෙනවිත් දෙනවා’’ යැයි කියන්නා සේ මදි නොකියන්නට වැස්ස වහින්නට විය. ඇළ දොළ ගංඟා පිරී ඉතිරි දොගොඩ තලා යද්දි කන්න හතරක් නොකඩවා කුඹුරුකට පය නොතැබූ ගොවියන්ගේ සිත් තුල නොයෙකුත් සිහින දළු ලන්නට විය. වී ගොවිතැනෙන් මෙවර ආර්ථිකයට රන් මසුරන් වැටෙන අයුරු මැවී පෙන්නට විය.

නමුත් එකවරම නොකඩවා ඇද හැලුන මහ වැසි ගොවියන්ගේ සිහින සිතුවම් බොදකරමින් පුස්සක් වන්නට විය. සිතූ පරිද්දෙන් කුඹුරු අස්වැද්දවීමට තරම් ප්‍රමාණවත් ජල ධාරිතාවයක් වැව් තුල රැදීමට තරම් වැස්ස ප්‍රමාණවත් නොවීය. ගොවියෝ කබලෙන් ලිපට වැටෙන්නට විය.

නමුත් අපි වවලයි අපි කන්නේ යැයි සිතු හුදෙක් ගොවියෝ ආර්ථික අර්බුදයට පිළියමක් ලෙස නව වගාවක් වෙත නැඹුරු වන්නට වූ බවයි අපත් සමඟ පිළිසදරක යෙදුන බව තිඹිරිගස්වැව, පුලියන්කුලම,සාලියවැව ගොවියෝ පවසති.

ඒ අනුව ඔවුන් මෙම ප්‍රදේශයන් වල සීඝ්‍රයෙන් ගර්කින් වගාව ආරම්භ කරන්නට විය. එකී ගර්කින් වගාව සදහා අඩු ජල ධාරිතාවයකින් වැඩි අස්වැන්නක් නෙලා ගැනීමට හැකියාවක් පවතින බව හෙතම පෙන්වා දෙති. එහිදී ගොවියන් වැඩි දුරටත් පෙන්වා දෙන්නේ තම ප්‍රදේශයේ වැව් අමුණු මනා ලෙස ප්‍රතිසංස්කරණය කර ජලය ස්ථිර ලෙස රදවා ගැනීමට ක්‍රමවේදයක් රජය විසින් දියත් කරන්නේ නම් වී වගාවට අමතරව මෙකී වගාව ප්‍රදේශය පුරා ව්‍යාප්ත කරමින් දේශිය අපනයනය නැංවීම තුලින් ආර්ථිකය ඉහළ මට්ටමක පවතින බවයි.

ගර්කින් වගාව ඔස්සේ බහුතරයක් ගොවියන් දෛනිකව ආදායම් උත්පාදනය සිදුකරන බව කියයි. වගාව සිදුකර දින විසි අටකින් ඵලදාව ලැබෙන අතර, එක් ගසකින් දින විසි පහක් නොකඩවා අස්වැන්න නෙලීමට ශාකය ගර්කින් ශාකය සමත්වෙන බව කියයි.

වෙළද පොල තුල හොද ඉල්ලුමක් ඇති ගර්කින් සඳහා ගැණුම්කරුවන් තුළද තරඟකාරි ඉල්ලුමක් පවතින බව කියයි. ගර්කින් කිලෝ ලෙස මිළදී ගැනීම සිදුකරන අතර, ගෙඩි පහක් - හයක් වැනි ප්‍රමාණයක් එක් කිලෝවක් සඳහා අවශ්‍ය වන බවත්, ගැණුම් කරුවන් ගොවියාගෙන් මිළදී ගනු ලබන්නේ එක් කිලොවක් රුපියල් විස්සක් වැනි මුදලකට බව කියති.

ගර්කින් වගාව ආශ්‍රිතව නියලෙන ගොවියන් සැකසහිතව මෙම වගාව සිදුකරගෙන යන බවද වරෙක කියන්නට විය. ඒ මන්දැයි විමසන කල ඔවුන් පෙන්වා දෙන්නේ වී අස්වැන්නට ප්‍රමාණවත් ජලය නොමැති බැවින් නුදුරේදී වැව් වල ජල මට්ටම සීඝ්‍ර ලෙස පහත යමින් තිබෙන නිසාවෙන් ගර්කින් සඳහා අවශ්‍ය ජලය සපයා ගැනීමට තමන්ට නොහැකිව යමෙන් 100% මෙම වගාව තුලින්ද සාර්ථක ප්‍රථිඵල නොලැබෙන බවයි.

මෙරට වෙළඳ පොළ ගර්කින් සඳහා වැඩි ඉල්ලුමක් සහ ප්‍රසිද්ධියක් නොතිබුණද, විදෙස් වෙළඳ පොළ ගර්කින් සඳහා හොද ඉහළ ඉල්ලුමක් පවතී. ඒ හේතුවෙන් ගර්කින් අපනයනය තුළින් ශ්‍රීලංකාවට සැලකිය යුතු විදේශ විනිමයන් ලබා ගැනීමට හැකිවී ඇත.

ඇමරිකාව,යුරෝපය,රුසියාව වැනි රටවලට ගර්කින් සඳහා සැලකිය යුතු ඉල්ලුමක් පවතින බව වාර්ථවේ. තායිවානය, ඔස්ට්‍රේලියාව, නෙදර්ලන්තය,වැනි රටවල මෙන්ම ජපානයද ගර්කින් සඳහා විශාල අපනයන ගැණුම්කරුවන් සිටින බව කියයි.

අපනයන ධාරිතාව ඉහළ නැංවීමේ අරමුණින් වගාකරුවන් දිරිමත් කිරීමට මෙරට අපනයන සමාගම් විවිධ වැඩ සටහන් ක්‍රියාත්මක කරනු ලබන අතර, ගොවීන් හා සමාගම් අතර ඇති කර ගන්නා පෙර ගිවිසුම් පරිදි වගා කටයුතු කිරීමට මූල්‍ය ශක්තිය ලබාදී අස්වැන්න මිලදී ගැනීමද සිදු කරති.

මේ සම්බන්ධයෙන් අප කල විමසුකදී මේ පිළිබඳ අදහස් දැක්වූ ගර්කින් වගාව ප්‍රදේශයට හඳුන්වා දීමට වෙහෙසවූ එච්.එම්. ජයසේන බංඩාර මහතා පවසා සිටියේ මෙවැන්නකි.

Gerkine24

මේ වගාව හරියට කලොත් අක්කර කාලකින් මාස තුනකින් රුපියල් (තිස් දහසක්) ආදායමක් පහසුවෙන් ගන්න පුලුවන්.

අපනයන කරුවන් හා පෙර ලිවිසුම් ගත පරිදි ගොවින්ට ගර්කින් මිලදී ගෙන සතිපතා මුදල් ලබා දීමට කටයුතු කරනවා. කුඹුරු වගාව කරන තරම් මේක වගාව කරන්න පහසු නැහැ. මහන්සිය වැඩියි.

නමුත් වැව්වල කුඹුරු කරන්න තරම් වතුර නැති නිසා නිකම් ඉන්නේ නැතුව තමයි ගොවියො මේ වගාවට පෙළඹුණේ. ගොවින් බොහෝ පිරිසක් මේවා වගාව කරනවා.

ගර්කින් වලට කුඹුරු වලට තරම් වතුර අවශ්‍ය නැහැ. වී අස්වැන්න නෙලා ගත් පසු අවස්ථාවලදී කුඹුරු ඉඩම් වල උස් ලියදි ප්‍රයෝජනයට ගනිමින් ගර්කින් වගාව සාර්ථකව කරන්නට පුලුවන් අපි එහෙම කරලා තිබෙනවා. තවත් වාසියක් තිබෙනවා මේවාට පොහොර යොදන නිසා වී වගාවේදි අඩු පොහොර ප්‍රමානයක් තමයි අවශ්‍ය වෙන්නෙ.

වෙනත් වගාවන් එක්ක ගත්තහම ගර්කින් වගාව කාන්තාවන්ට තනියෙන් වුනත් පහසුවෙන් කරන්න පුලුවන්. මාසයක් වැනි කෙටි කාලයක් තුළදී අස්වනු නෙළීමේ හැකියාව තිබෙන නිසා අපහසු නෑ.

ලෝකයේ ගර්කින් ඉල්ලුමෙන් අපේ රට ඉතාම අඩු ප්‍රමාණයක් සපයනවා කියලා තමයි අපට කියලා තිබෙන්නේ.ඒක වැඩි කරන්න අපි වගා කරන්න ඕනැ. අපට මේ වගාව කරන කොට ගැටලු තිබෙනවා,රිළව්,වඳුරො,මොණරු,ඉත්තෑවො මේවා විනාශ කරනවා අනික අලි ආවොත් එක රැයකින් සේරම විනාශ කරනවා ඒ නිසා රෑ දවල් නැතිව මේවා රකින්න වෙලා තිබෙනවා.

අප කල විමසුකදී ගෙවිලියක වූ ඩී.එම්. අනුලාවතී මහත්මිය පවසා සිටියේ මෙවැන්නකි.

Gerkine21

"කන්න හතරක් ගොවිතැන් කරන්න බැරුව අපි අසරන වෙලා හිටියෙ. වී වගාව කරන්න බැරි නිසා තමයි. මේ වගාව පටන් ගත්තෙ. වී වලට තරම් මේ වගාවට වතුර යන්නෙ නැහැ. අඩු ප්‍රමාණයක් තමයි යන්නෙ දවස් පහකට හයකට සැරයක් තමයි වතුර හරවන්නෙ. ඒකත් වී වලට වගේ ලියද්ද පුරා වතුර බඳින්නේ නැහැ. කාණුවලට විතරයි වතුර බඳින්නෙ අඩු වතුරෙන් ගොඩක් අස්වැන්න ගන්න පුළුවන්. හැමදාම මහන්සි වෙන්න ඕනා නමුත් නිකන් හිටියොත් කන්න හම්බ වෙන්නේ නැහැනෙ උදේ 7.30 විතර අපි ඇවිත් ගෙඩි කඩලා හවස් වෙනකන් කිරලා කිරලා එතැනට එකතු කරනවා.

හිතලා තමයි ගන්න පුලුවන් එක තෝරන්නෙ.කුලී වැඩක් වත් නැති කාලේ කාන්තාවන් විදිහට අපිට ගොඩක් මේ රස්සාව වටිනවා. මම මේ වගාව කරන්නට පටන් ගත්තේ පළවෙනි වතාවට ඇත්තටම බොහොම සන්තෝසයි මම හරියට දැනගෙන හිටියෙත් නෑ මේක කරන්නේ කොහොමද කියලා. මේක කරන කට්ටිය ගෙන් අහල තමයි මම මේක කරන්න ඉගෙන ගත්තේ මගේ එක දරුවෙක් කැම්පස් යන්න තේරිලා තියෙනවා. අනිත් දරුවෝ උසස් පෙළ කරනවා. ඒ අයට උගන්වන්නෙත් මම මේක කරල තමයි.

කුලී වැඩක්වත් නැති කාලයේ මේ වගේ වගාවක් හඳුන්වා දීලා අපිට ආදායමක් උපයා ගන්න අවස්ථාවක් ලබා දීම ගැන ගොඩක් සන්තෝස වෙනවා. අපි වගාව කරලා තිබෙන්නේ තිඹිරිගහවැව යටතේ වැවෙන් වතුර හොඳටම අඩු වෙලා තියෙනවා. අපිට පොඩි බයකුත් තියෙනවා. නමුත් අපි විශ්වාස කරනවා සොබා දරමින් හරි අපිට වැසි පොදක් හරි වැටිලා මේක සාර්ථකව කරගන්න යන්න පුළුවන් වෙයි කියලා."

සටහන හා ඡායාරූප - ප්‍රියංකර කළුපහන
පුත්තලම වාර්තාකරු

Gerkine1

Gerkine2

Gerkine3

Gerkine4

Gerkine5

Gerkine7

Gerkine10

Gerkine11

Gerkine12

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top