Sathosa

Oct 26, 2018

පුච්චන ඉරිඟු කරල යට පිච්චෙන ජීවිත (ඡායා)

කාසි ඇත්තන් හට මනදොළ සනසවන කෑමක් සේම සහල් ගන්නට කාසි නැත්තන් හට කුසට සරණක් වන බඩඉරිඟු කා අතරත් ජනප්‍රිය ආහාරයක්.

කොළඹ ආශ්‍රිත ප්‍රදේශ වල සාමාන්‍යයෙන් තම්බා පිළියෙළ කෙරුණද, බහුල ලෙස ඉරිඟු හේන් වවන පිට පළාත්වල අළු වල දමා පුච්චන ලද බඩඉරිඟු සඳහා ඇත්තේ ඉහළ ඉල්ලුමක්. “ඉස්සර අපි පොඩි කාලෙ ලපටි බඩඉරිඟු හේනෙම පුච්චන් කන්න දෙනවා… මාර රහයි… කොළඹ අය ඕවා දන්නවැයි,” යැයි වසර ගණනකට පෙර පිට පළාතක සරසවි මිතුරෙකු ඔලොක්කුවට පැවසූ අයුරු යළි මා මතකයට නැගුණේ මීට දෙමසකට පෙර පැවැත්වුණු ’එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා’ ජාතික ප්‍රදර්ශනය සඳහා මොනරාගල ගිය අවස්ථාවේදීය.

එම ප්‍රදර්ශනයේ පෙර සූදානම් කටයුතු සඳහා කිහිප වතාවක් එහි ගොස් සිටි මිතුරියක් විසින් ඉතා ප්‍රණීත ලෙස දිස්වුණු පිච්චුනු බඩඉරිඟු කරලක ඡායාරූපයක් සමග ‘එවන්නද?’ යැයි ඇසූ මැසෙන්ජර් චැට් පණිවිඩය සමග ඇරඹුනු බැනුම් වැස්ස අහවර වූයේ ප්‍රදර්ශනය සඳහා අප සියල්ලන්ම ගිය විටදී අනිවාර්යෙන්ම බඩඉරිඟු කන්නට සැවොම එක්කන් යාමේ පොරොන්දුවත් සමගයි.

පොරොන්දුව අකුරටම ඉටුවිය. වැල නොකැඩී ප්‍රදර්ශන කුටිය වෙත ආ ජනගඟෙන් මදක් මිදුනු අප මිතුරු මිතුරියන් සියල්ලම ඇදී ගියේ සති ගණනක් පුරාවට ඇතිවූ ‘පුච්චපු බඩඉරිඟු ආසාව’ සංසිඳවා ගැනීමටයි.

ඉරිඟු විකුණන මාමා අප දෙස බැලුවේ සිනාපිරි දෑසෙනි. ගොජ ගොජ ගා තැම්බෙන බඩඉරිඟු වළඳ යටින් ඇති රත්පැහැ ගිනිදැල් අතර ඔහු ළපටි ඉරිඟුකරල් පුච්චමින් සිටියේය.

එයද කලාවකි. ඉරිඟු කරල් වටා ඇති පොතු ඉවත් කරන ඔහු වෙනම බෑගයකට දමයි. පුළුස්සන ලද ඉරිඟු කරල් ඉල්ලූ විටදී ඔහු එන් එකක් ගෙන ලීයකට සවි කරව ලද කූරක ගසා ලුණු වතුරේ බහා රත්පැහැ අළු අතර තබයි. ඉතා ප්‍රවේශමෙන් මුළු කරලම ඒ මේ අත දමා පුළුස්සන ඔහු, ලා දළු පැහැ ඉරිඟු පොතු මත තබා දුන්නේ නිකම් නොවේ. “ඇති තරම් ගන්න,” යැයි පවසමින් ලුණු බෑගයකුත් ගම්මිරිස් ඇට ඇහුරකුත් අපට පිළිගන්වමිනි.

කෙසේවෙතත්, මෙම සොඳරු මිනිසා සිනාමුසුව දිගින් දිගටම දුම්දමන රස ඉරිඟු කරල් පුළුස්සා දෙන්නේ සිත අළු කරමින් යන දුකක් සඟවාගෙන බව දැනගන්නට ලැබුනේ අහම්බෙනි.

සාමාන්‍යයෙන් ජාතික ප්‍රදර්ශනයක් වැනි දැවැන්ත උත්සවයක් පැවතෙන අවස්ථාවකදී ඔහු වැනි කුඩා පරිමාණ ප්‍රාදේශීය වෙළඳුන් ගේ ව්‍යාපාරික කටයුතු සඳහා ආශිර්වාදයක් වන්නේ එයට ඇදී එන ජනගඟත් සමගිනි. කෙසේවෙතත්, ප්‍රදර්ශන භූමි මායිම ලෙස අසුවන ප්‍රදේශයේ පැවති ඔහු ගේ තේ කඩය කඩාදමා ඉවත් කර තිබුණි.

“මගෙ කඩේ තිබ්බෙ පාරෙ එහා පැත්තෙ. තේ, බුලත්, තැඹිලි තිබ්බා. ඒක තිබ්බනම් මේ සෙනඟත් එක්ක තැඹිලි විතරක් විකුණලා හොඳ ගානක් හොයාගන්න තිබ්බා පුතේ,” යැයි ඔහු පැවසුවේ සුසුමක් සමගිනි. “ඒ වුනාට පස්සෙ මං ආයි හෙමින් ඒක අටෝගන්නවා,” යැයි කියමින් ඔහු යළිත් පිළිස්සෙන ඉරිඟු කරළ වෙත යොමුවුනේය.

ලිපගිනි රස්නය නොතකා දිගින් දිගටම ඡායාරූප ගන්නා මාගේ වැඩ ගැන ඔහුට මදසිනා පහළ වෙයි. මද සිනාවක් සමග “ටිකක් රස්නෙයි,” කියා දුම්දමන බඩඉරිඟු කරල මා අතට දුන් ඔහු යළිත් සිය වැඩකටයුතු වෙත යොමුවිය.

උපන්දා සිට කෙතරම් රස ආහාර ගෙන ඇතිද? මෑණියන්ගේ, මිත්තණියන්ගේ දෑත් වලින් ආදරයෙන් තැනෙන රසබොජුන්, කොළඹ පුරා හා විවිධ රටරටවල ඇති නානාප්‍රකාර හෝටල් වල රජබොජුන් කෙතරම් රසවිඳ ඇති වුවත්, ගම්මිරිස් ඇට හපමින් ලුණු ඉහින ලද දුම් දමන, පිළිස්සුනු ඉරිඟු කරල් වල රසත්, ඉරිඟු මාමා ගේ දුක හා මුසුවූ සුසුමත් මට අමතක නොවනු ඇත.

(සටහන හා ඡායා : ශානිකා ජයසේකර)

corn1

corn2

corn3

corn4

corn5

corn7

corn8

corn9

corn10

corn11

corn12

corn13

corn14

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top