Jan 08, 2019

ලසන්ත වසරක් පාසා සැමරේ.. ඝාතකයා සැඟවේ.. (ඡායා)

සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා රත්මලාන අත්තිඩිය ප්‍රදේශයේදී ඝාතනය කොට 2019 ජනවාරි 08 වන දිනට වසර 10 ක් සම්පූර්ණ වේ.

අද දින බොරැල්ල කනත්තේ පැවැත්වූ ඒ මහතාගේ 10 වැනි සැමරුම් උත්සවයට ද ඔහුගේ පවුලේ සාමාජිකයන්, සහෝදර මාධ්‍යවේදීන් හා හිතවතුන් රැසක් සහභාගි විය. ඔහු මිය ගිය දා පටන් වසරක් පාසා මෙසේ ඔහුට ආදරය කළ පිරිස රැස්වී ඔහුගේ ගුණ අනුස්මරණය කරන අතර ඔහුගේ ජීවිතය උදුරාගත් ඒ කුරිරු ඝාතනයට වගකිව යුත්තන් සම්බන්ධයෙන් තවමත් නීතිය ක්‍රියාත්මක වී නොමැත.

ලසන්ත මාධ්‍ය හරඹය තුළ ඔහුට අවසානයේ සිදුවූයේ නිරපරාදේ ජීවිතය පුදන්නටය. ඔහු අද සැමරුමකි. මෙරට මාධ්‍ය ඉතිහාසයේ නියැදියකි. ඔහුගේ ඝාතන නඩුව දිගහැරෙන දිනයන්හි ඔහු පුවතකි. වර්ෂ පූර්ණය දා විශේෂංගයකි. ලසන්ත නැසූ ඒ පාපතරයෝ අද කවුරුද?

ලසන්තව සමඟ ඇසුරේ වැඩුණු මාධ්‍යවේදී තිළිණ අලහකෝන් ලසන්ත කවුද යන්න හඳුන්වා දී තිබුණේ මෙසේය.

ලසන්තට යුක්තිය ඉටුවීම සදහා සටන් වදිමු….!

ඔහුව ඝාතනය කළ බව ඇසූ පුවත තරම් මා කම්පනයට පත් කළ පුවතක් නැති තරම්ය…

ලසන්ත වික්‍රමතුංග... මාධ්‍යවේදියෙකුට, කර්තෘවරයෙකුට වඩා ඔහු අපට සැබෑ මිනිසත්කම ඇති මනුස්සයෙකි... ලීඩර් ආයතනයේ වසර 9ක් ඔහු මගේ බොස් හෙවත් මාධ්‍ය ආයතනයේ ප්‍රධානියාය... එමෙන්ම එ් වසර 9 දී ඔහු එක් අයුරකින් මගේ මාධ්‍ය ගුරුවරයෙකි. ඔහු සමග වැඩ කිරීම මාධ්‍ය විශ්ව විද්‍යාලයක ඉගෙන ගන්නවා හා සමානය. ඔහු කිසිවෙකුටත් බය නැති, නොනැමෙන අභීත මාධ්‍යවේදියෙකි.. කර්තෘවරයෙකි…

නීතිඥයෙකු නිසාම ප්‍රවෘත්තිවල නීතිමය රාමුව හා ප්‍රවෘත්ති මූලාශ්‍රවල නීතිමය රාමුවද ඔහු මැනවින් දැන උන්නේය. එනිසාම ඔහු විසින් පළ කරනු ලබන ප්‍රවෘත්තියකින් බොහෝ දැවැන්තයො පවා සලිත වී ගියහ. බොහෝ විට එම ප්‍රවෘත්තිවලට එරෙහිව නීතිය ඉදිරියට බොහෝ දෙනෙකු නොගියේ ලසන්ත විසින් නීතිය දැනගෙන ප්‍රවෘත්තියට අදාල වූ සියලු ලිපි ලේඛණ හා සාක්ෂිද අතේ තබාගෙන ප්‍රවෘත්තිය පළ කරන බව දන්නා බැවිනි.

ඇතැම් විට රාජ්‍ය අංශයේ නිලධාරීන් රැසක් කාටත් හොරා තමන්ගේ අමාත්‍යංශවල සිදුව ඇති දූෂණ, වංචා, අක්‍රමිකතා සම්බන්ධ ලිපි ලේඛණ සහිත ෆයිල් රහසේ ලසන්තට ගෙනැවිත් දෙන වාර අනන්තය අපමණය. බොහෝ අවස්ථාවල එවැනි ලිපි ලේඛණ ස්කෑන් කර පිටපත් කර ගැනීම පැවරෙන්නේ අපටය.

කිසිවිටෙකත් ප්‍රවෘත්ති මූලාශ්‍ර සම්බන්ධව කිසිවෙකුටත් හෙලි නොකර රහසිගතව තබා ගන්නා නිසාද, අදාල ලිපි ලේඛ උපයෝගී කරගෙන රටම හෙල්ලෙන පුවත් අනාවරණයන් කරන නිසාද ලසන්ත ගැන බොහෝ දෙනෙක් විශ්වාස කරමින් අදාල මූලාශ්‍ර රහසිගතව ගෙනත් දුන් බව මා හොදාකාරවම දන්නා කරුණකි.

එනිසාම නීතියෙන් හෝ තර්ජනයෙන් නතර කිරීමට බැරි වූ ලසන්තගේ අභිත පෑන... බියගුළු ඝාතකයින් කිහිප දෙනෙකුගේ රහසිගත මෙහෙයුමෙන් නිහඩ කරවීය. ලසන්තගෙ සෙවණේ හැදුණු, ලසන්ත නිසාම අද මාධ්‍ය දැවැන්තයින් වී සිටින මාධ්‍යවේදීන්, මාධ්‍යවේදිනියන් රැසකි. මා පවා මේ දක්වා මාධ්‍ය ලෝකයේ යමක් කරන්නේ නම් එම ජවය ශක්තිය ලසන්ත සමග ගෙවූ වසර 9 යේදී එකතු කරගත් ඒවායේ දිගුවන්ය.. ඔහු මාධ්‍යවේදියෙකුගෙන් එහාට ගොස් ආයතනයේ සියළු සේවකයින් සහෝදරයෙක් හා මිතුරෙක් මෙන් සැලකූ අවස්ථා බොහෝය.

විශේෂයෙන් පරිපාලන අංශයෙන් සිදුවන බොහෝ අසාධාරණකම් ගැන සේවකයින් ගොස් ලසන්ත ඉදිරියේ දුක්ගැනවිලි දිග හරිති. එ් ඔහු ගැන ඇති විශ්වාසය නිසාය. පරිපාලනයේ තීරණ වලට එහා ගොස් ඇතැම් විට ලසන්ත එ්වා වෙනුවෙන් මැදිහත්ව විසදුම් ලබා දෙති.

ලසන්ත ඝාතනය කළවුන් අද මේ රජය තුළත් ඉතා සුව පහසුවට ජීවත්වෙයි. ලසන්තගේ ඝාතනය විකුණමින් මාධ්‍ය නිදහස සම්බන්ධව පරසක්වල ගසා පොරොන්දු වී ලසන්තගේ මිනිය මතින් බලයට පැමිණි වත්මන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේනත්, අගමැති රනිල් වික්‍රමසිංහත්, ලසන්ත සමග ගජ මිතුරන් මෙන් සිටි රාජිත සේනාරත්න ප්‍රමුඛ ඇමති නඩේත් අද සිය පොරොන්දු සියල්ල අමතක කර ඇටිකෙහෙල් ගිලින ලද උගුඩුවන් මෙන් ලසන්තගේ ඝාතනය මග හරිමින් සිටී….

මාධ්‍ය මිතුරනි... ලසන්තට වූ දේට මෙසේ වීමට දුනහොත්... හෙට මාධ්‍යවේදී ඔබටත් මටත් මොනවා නොවෙනු ඇත්ද? පාට පක්ෂ නොව සැබෑ ලෙසම ලසන්ත වැනි අභිත මාධ්‍යවේදියෙකුට යුක්තිය ඉටු විය යුතුය.... එය අද අපටද..හෙට මතු මාධ්‍ය පරපුරකටද ආදර්ශයක්මය…

ලසන්තගෙන් අප ලද එම ජවයෙන්ම.. ලසන්තගෙන් ගිලිහුණු පන්හිද අත දරා සටන් වදිමු….

- තිළිණ අලහකෝන්

Lasantha10 670px 19 01 08

Lasantha9 670px 19 01 08

Lasantha8 670px 19 01 08

Lasantha7 670px 19 01 08

Lasantha6 670px 19 01 08

Lasantha5 670px 19 01 08

Lasantha4 670px 19 01 08

Lasantha3 670px 19 01 08

Lasantha2 670px 19 01 08

Lasantha1 670px 19 01 08

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top