Jun 15, 2019

මකර ඔරු පදින ඩුඅන්වූ (ඡායා / වීඩියෝ)

ඔරු පැදීම යනු ලොව පුරා ප්‍රසිද්ධ ක්‍රීඩාවකි. ඊට සමාන 'මකර ඔරු තරග' චීනයේ ජනප්‍රිය වන අතර, එය අග්නිදිග ආසියාතික රටවල් කිහිපයකම දැකිය හැකිය.

චීනයේ 'මකර ඔරු තරග' වඩාත්ම ජනප්‍රිය වන්නේ ඩුඅන්වූ (Duanwu) ලෙස හැඳින්වෙන සංස්කෘතික උළෙල අතරතුරදීය.

ඩුඅන්වූ යනු චීනයේ වාර්ෂිකව පැවැත්වෙන දැවැන්තම සංස්කෘතික උත්සව සතරෙන් එකකි. මෙම අනෙකුත් සංස්කෘතික උත්සව වන්නේ චීන වසන්ත සැනකෙළිය, මළවුන් සමරන චින්මින් උත්සවය හා සරත් සමයේ පැවැත්වෙන මූන්කේක් උළෙලයි.

ඩුඅන්වූ උත්සවය පැවැත්වෙන්නේ චීන චන්ද්‍ර දිනදර්ශනයේ පස්වැනි මාසයේ පස්වැනි දිනයේදීය. චීන බසින් ඩුඅන් හි අරුත ‘මුල’ වන අතර, ’වූ’ හි අරුත අංක පහ යන්නයි. එබැවින් මෙහි සරල අරුත යනු පස්වැනි මාසයේ මුල යන්නයි.

ඩුඅන්වූ උත්සවය ඉතා පුළුල් ඓතිහාසික පසුබිමකට හිමිකම් කියයි. ඉන් එක් විශ්වාසයක් වන්නේ ජලයේ සිටින දියමකරා ඩුඅන්වූ දිනයේදී අහසට නැග පියාසර කරන බවයි. එබැවින් මකර ඔරු තරග යනු මෙම මකරා හට පුදපූජා පැවැත්වීමේ ක්‍රමයක් ලෙසද සැලකේ.

මකර ඔරු තරග වල ඇරඹුම

කෙසේවෙතත්, ඩුඅන්වූ උත්සවය හා බැඳුනු චරිතයක් සිටියි. ඒ, වසර දෙදහසකට පමණ පෙර චීනයේ ජීවත් වූ ප්‍රසිද්ධ කවියෙකු වන ‘චියු යුවාන්’ (Qu Yuan) ය.

ඉතා යහපත් පුද්ගලයෙකු මෙන්ම දේශප්‍රේමී කවියෙකු වූ මොහු, සිය දේශයේ සිදූවූ දූෂණ වංචා වලට එරෙහිව විරෝධතාවයක් වශයෙන් වර්තමානයේ හූනෑන් පළාතට අයත් වන මීලෝව් ගංගාවට පැන සියදිවි හානිකරගත්තේය.

මේ පිළිබඳව දැනගත් සොවින් පිරි ගම්වැසියන් සිය ඔරු වල නැගී කඩිනමින් ගඟ මධ්‍යයට ගොස් ඇත්තේ චූ යුවාන් ව බේරාගැනීමට නොහැකි වුවහොත් ඔහුගේ මෘතදේහය හෝ සොයාගැනීමේ අරමුණෙනි. කෙසේවෙතත්, සිය අරමුණ සඵල කරගත නොහැකි වූ ගම්වැසියන් මීළඟට සිදුකර ඇත්තේ චියු යුවාන් ගේ සිරුර මසුන්ගේ ආහාර වීම වැළැක්වීමයි. මේ සඳහා ඔවුන් සිදුකළේ මසුන්ව මත් කිරීමට රීල්ගා නම් වයින් වර්ගයක් ද ඔවුන්ගේ ආහාර ලෙස ඇලෙන සුළු බත් ද ගඟට දැමීමයි.

සොන්ස, වයින් හා ආරක්ෂාවන්

මකර ඔරු තරග මෙන්ම, මෙම උත්සවය අතරතුරේදී බට කොළ වල ඔතා උණුදියේ තම්බාගන්නා ලද‘සොන්ස’ (Zongzi) නම් ඇලෙනසුළු පිරමීඩකාර බත්ගුලි හා රීල්ගා නම් වයින් යන විශේෂ ආහාරපාන අනුභව කරන සිරිතද ආරම්භ වී ඇත්තේ මෙලෙසය.

‘සොන්ස’ තුළ ඇති පිරවුම ද ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වේ. උතුරුකර චීනයේ සකසන සොන්ස වල පිරවුම වඩාත් පැණිරස වුවත්, දකුණුදිග චීනයේ මේ සඳහා පැණිරස දෑ වෙනුවට මස්, බිත්තර වැනි දේ යාෙදාගනියි.

මීට අමතරව, නපුරු ප්‍රාණ බලවේග වල ඇල්ම බැල්මෙන් මෙන්ම ග්‍රීෂ්ම සමයේදී වැළඳිය හැකි ලෙඩරෝග වලින් ආරක්ෂා වීමට චීන ජාතිකයන් විවිධ ඖෂධ පිරවූ කුඩා මලු භාවිතා කරන අතර, වර්ණ පහකින් යුත් ගෙතූ නූල් ද සිය අත් වල පළඳියි. මීට අමතරව, moxa හා calamus නම් ශාක ද සිය දොරවල් ඉදිරිපස එල්ලනු ලබයි.

විරු සැමරුම්

චියු යුවාන් ට අමතරව මෙම දිනයේදී සැමරෙන තවත් චරිත ද්විත්වයක් වේ. ඉන් එක් අයෙකු නම් සිෂූ (Wu Zixu) නම් අතීතයේ සිටි ජනප්‍රිය නිලධාරියෙකි. එකළ රජු ගේ ඇතැම් ක්‍රියා සමග එකඟ නොවීම හේතුවෙන් ඔහුව මරවා ඩුඅන්වූ දිනයේදී ඔහුගේ මළසිරුර ගඟට විසිකර තිබේ. අනෙක් චරිතය වන්නේ ‘ත්සඕ අ’ නම් තරුණ කාන්තාවයි. ගඟක වැටී ගිලුන සිය පියා බේරාගැනීමට ඇය ගත් ප්‍රයත්නය කෙළවර වූයේ ඇගේ මරණයෙනි. මොවුන් දෙදෙනාගේ වීරත්වය ද මෙදින සමරනු ලැබේ.

සිරිත්විරිත් සමග බැඳුනු සතුට

වත්මන් චීනයේ ඩුඅන්වූ යනු විවිධ සිරිත් විරිත් සිදුකරමින් සමස්ත පවුලේ සාමාජිකයන් සමග එකට ඉතා සතුටින් සමරන උත්සවයකි. මෙවර ඩුඅන්වූ උත්සවය හා මකර ඔරු තරග චීනයේ විවිධ ස්ථාන වල පැවැත්වුණු අතර, බීජිං අගනුවර ෂුන්යී ප්‍රදේශයේ පිහිටි ඔලිම්පික් ඔරු පැදීමේ උද්‍යානයේ දී ඉතා උත්කර්ෂවත් ලෙස සැමරුණු මෙම උත්සවයේ අවස්ථා කිහිපයකි මේ.

(සටහන, වීඩියෝ හා ඡායා : ශානිකා ජයසේකර බීජිං සිට)

Duanwu1 670px 19 06 15

Duanwu2 670px 19 06 15

Duanwu3 670px 19 06 15

Duanwu4 670px 19 06 15

Duanwu5 670px 19 06 15

Duanwu6 670px 19 06 15

Duanwu7 670px 19 06 15

Duanwu8 670px 19 06 15

Duanwu9 670px 19 06 15

Duanwu10 670px 19 06 15

Duanwu11 670px 19 06 15

Duanwu12 670px 19 06 15

Duanwu13 670px 19 06 15

Duanwu14 670px 19 06 15

Duanwu15 670px 19 06 15

Duanwu16 670px 19 06 15

Duanwu17 670px 19 06 15

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top