Connect with us

ඡායාරූප සටහන

2024 පාසල් ආහාර වැඩසටහන ඇරඹේ (ඡායා)

Published

on

රටේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීමට නම් විෂය දැනුම ලබාදී විභාගවලට ඉදිරිපත් කිරීම මෙන්ම ඔවුන්ගේ පෝෂණය ද සුරක්ෂිත කළයුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

එසේම කෘත්‍රීම බුද්ධිය ඇතුළු නවීන තාක්ෂණ දැනුම දරුවන්ට ලබාදිය යුතු බව පැවසූ ජනාධිපතිවරයා ඒ අනුව පාසල් අධ්‍යාපනයේ සහ විභාග ක්‍රමයේ වෙනසක් පිළිබඳ රජයේ අවධානය යොමුව ඇති බවද සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ නාරාහේන්පිට සුජාතා බාලිකා විද්‍යාලයේ  අද (25) පෙරවරුවේ පැවැති “2024  වර්ෂයේ පාසල් ආහාර වැඩසටහනේ“ සමාරම්භක අවස්ථාවට එක් වෙමිනි.

දිවයිනේ 1- 5 දක්වා ශ්‍රේණිවල සියලු‍ම පාසල් සිසුන්ට පාසලේ දී ප්‍රධාන ආහාර වේලක් ලබා දීමට මේ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. පෝෂණවේදීන්ගේ නිර්දේශ ද සැලකිල්ලට ගෙන දිනපතා සිසුන් අධ්‍යාපන කටයුතුවල නිරත වීමට පෙර පෙරවරු 7.30ත් 8.30 අතර කාලය තුළ මෙම උදෑසන ආහාර වේල ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් උපදෙස් ලබා දී ඇත.

“නිරෝගී ක්‍රියාශීලී දරු පරපුරක්” යන තේමාව යටතේ මෙවර 2024 වර්ෂය සඳහා ක්‍රියාත්මක පාසල් ආහාර වැඩසටහන මගින් පාසල් සිසුන් අතර පෝෂණ ගැටලු‍ අවම කිරීම, සිසුන්ගේ දෛනික පාසල් පැමිණීම වර්ධනය කිරීම, යහපත් ආහාර පුරුදු හා සෞඛ්‍ය පුරුදු වර්ධනය කිරීම, අධ්‍යාපන සාධන මට්ටම් වර්ධනය සඳහා දායක වීම සහ දේශීය ආහාර සංස්කෘතිය ගොඩනැගීම යන මූලික අරමුණු ඉටු කරගැනීමට අපේක්ෂිත ය.

රජයේ පාසල් 9134ක ප්‍රාථමික ශ්‍රේණිවල සියලු‍ සිසුන් හා 100ට අඩු  සිසුන් සංඛ්‍යාවක් සිටින සියලු‍ම පාසල් ද ආවරණය වන පරිදි සිසුන් මිලියන 1.6ක් මෙවර පාසල් ආහාර වැඩසටහනේ ප්‍රතිලාභීහු වෙති. මේ සඳහා රජය රුපියල් මිලියන 16,600ක අයවැය ප්‍රතිපාදන සෘජුවම පළාත් සභා නවය වෙත වෙන් කර ඇති අතර ලෝක ආහාර වැඩසටහන හා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව (USDA) ඇතුළු වෙනත් සංවිධාන විසින් ද අනුග්‍රාහකත්වය සපයනු ලබයි.

මෙම පෝෂණ වැඩසටහනට අවශ්‍ය ආහාර වර්ග ප්‍රධාන දේශීය සැපයුම්කරුවන් විසින් සපයනු ලබන අතර එය සෘජු හා වක්‍ර නව රැකියා උත්පාදනය ඔස්සේ මෙරට නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීමට ද දායකවීමකි.

මෙම පාසල් ආහාර වැඩසටහනට අදාළ සියලු‍ මූල්‍ය පාලනයන් විනිවිදභාවයක් හා වාර්තා සහිතව පවත්වාගෙන යෑමේ යාන්ත්‍රණයක් ද ක්‍රියාත්මක වෙයි. ප්‍රතිපත්ති සම්පාදනයේ සිට එහි සියලු‍ ප්‍රධාන මෙහෙයවීම හා අධීක්ෂණ කටයුතු අඛණ්ඩව නිරීක්ෂණය කරමින් අවශ්‍ය මැදිහත්වීම් සිදු කරනු ලබන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය වන අතර අමාත්‍යාංශයේ සෞඛ්‍ය හා පෝෂණ ශාඛාවට ඊට අදාළ කාර්යන් පවරා ඇත.

මෙම අවස්ථාවට සහභාගිවීම වෙනුවෙන් විදුහල්පතිනි ප්‍රියංගිකා විජේසිංහ මහත්මිය විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙතද සිහිවටන තිළිණයක් පිළිගැන්වූවාය.උත්සව සභාව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේ ද පැවසිය : 

මන්දපෝෂණය අපේ රටේ විශාල ප්‍රශ්නයක් බවට පත්ව තිබෙනවා. අප අස්වැසුම වැඩසටහන මගින් අඩු ආදායම්ලාභී ජනතාවට ලබාදෙන මුල්‍ය සහනය තුන් ගුණයකින් ඉහළ නංවා තිබෙනවා. පාසල් දරුවන් අතර මන්දපෝෂණය ඉහළයාමට ආදායම් මට්ටම පමණක් හේතු වී නැහැ. ඇතැම් සිසුන් පාසල් වෙත පැමිණීමට නිවසින් පිටත්වන්නේ උදෑසන 6.00ට පමණ. එවිට ඔවුන්ගේ උදෑසන ආහාර වේල මඟ හැරෙනවා. ඒ වගේම දිවා ආහාර වේලත් මඟ හැරි යනවා. ඒ නිසා කුමන තරාතිරමකට අයත් වුවත්, කුමන ජාතියකට, ආගමට අයත් වුවත් සියලු දරුවන් මේ ප්‍රශ්නයට මුහුණ දී සිටිනවා. ඒ නිසා සිසුන්ට පාසල තුළ ආහාර වේලක් ලබා ගැනිමට අවස්ථාව සලසා දීම ඉතා වැදගත් වෙනවා.

නවීන අධ්‍යාපන ක්‍රමයක් රට තුළ ඇති කිරීමට අප මේ වන විට කටයුතු කරමින් සිටිනවා. අප නිර්මාණය කළ යුතුතේ 2024ට පමණක් නොව 2030ට සුදුසු අධ්‍යාපන ක්‍රමයක්. එම වැඩකටයුතු දැන් අප කරගෙන යනවා. ගුරුවරු පුහුණු කිරිම, නවීන තාක්ෂණ දැනුම ලබාදීම වැනි වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා : දුෂ්කර පළාත්වල පාසල් සිසුන් සඳහා මෙම ආහාර වැඩසටහන මීට පෙර ක්‍රියාත්මක කරමින් තිබුණා.  නමුත් මේ වසරේ සිට පළමු ශ්‍රේණියේ සිට පහ ශ්‍රේණිය  දක්වා  සිසුන්ට පෝෂණ ආහාර වේලක් ලබාදීමේ වැඩසටහන ආරම්භ කිරීමට කටයුතු කරනවා. මේ සඳහා මුදල් අමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ   ජනාධිපතිවරයා  රුපියල් මිලියන 16,600ක් වෙන්කර තිබෙනවා. ඊට අමතරව එක්සත් ජාතීන්ගේ සංවිධානය ආහාර වැඩසටහන මගින් ආධාර ද ලැබෙනවා. ඒ අනුව ලක්ෂ 17ක් වන ප්‍රාථමික ශ්‍රේණියේ සිසුන් සියලු දෙනාටම උදෑසන පෝෂණ ආහාර වේලක් ලබාදීමට හැකිව තිබෙනවා. නියමිත ප්‍රමිතියට අදාළ පෝෂණීය ආහාර වේලක් ලබාදීමට අදාළ අංශ වෙතට මේ වන විටත් උපදෙස් ලබා දී තිබෙනවා. ඉගැන්වීමට පෙර සියලු දරු දැරියන්ගේ කුස පිරවීම තුළින් හොදින් අධ්‍යාපන කටයුතුවල නිරතවීමට අවස්ථාව ලැබෙන අතර දරුවන්ගේ මානසික තත්ත්වය වැඩි කිරීමටත් මෙමගින් හැකියාව තිබෙනවා.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක, රාජ්‍ය අමාත්‍යවරුන් වන විජිත බේරුගොඩ, අරවින්ද් කුමාර් යන මහත්වරු සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරින්, ආචාර්ය මණ්ඩලය, දෙමාපියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(ජනාධිපති මාධ්‍ය අංශය)

ඡායාරූප සටහන

ජනපති ජර්මනියේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවෙයි

Published

on

By

ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (13) පස්වරුවේ ජර්මනියේ වාසය කරන ශ්‍රී ලාංකික ප්‍රජාව හමු විය.

ජර්මනියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් විසින් සංවිධානය කර තිබූ මෙම හමුවට ජර්මනියේ වෙසෙන ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින්, ආයෝජකයන් සහ වෘත්තිකයන් රැසක් එක්ව සිටියහ. මෙම අවස්තාව සදහා සහභාගී වූ ජනාධිපති අනුර කුමාර දිසානායක උනුසුම් අයුරින් පිළිගත් අතර රැස්ව සිටි පිරිස ඇමතූ ජනාධිපති අනුර දිසානායක කියා සිටියේ, සමෘද්ධිමත් රාජ්‍යයක් වෙනුවෙන් එකට එක්ව කටයුතු කළ යුතු බවයි. 

එහිදී විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් ගේ දායකත්වය ඇගයූ ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේ බිද වැටී ඇති රාජ්‍ය යළි ගොඩනැගීම සදහා මේ වන විට ස්ථාවර ආරම්භයක් ගනිමින් සිටින බවයි.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්ද මෙහිදී රැස්ව සිටි පිරිස ආමන්ත්‍රණය කළේය.

Continue Reading

ඡායාරූප සටහන

ජනපති ජර්මානු ජනාධිපති හමුවෙයි (ඡායා)

Published

on

By

ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක්-වෝල්ටර් ස්ටයින්මියර්ගේ (Frank-Walter Steinmeier) මහතා විසින් අද (11) උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

බර්ලිනයේ බෙල්වීව් මන්දිරය (Bellevue Palace) වෙත පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජර්මානු ත්‍රිවිධ හමුදා උත්තමාචාර සහිතව පිළිගනු ලැබූ අතර, ජනාධිපතිවරයා ත්‍රිවිධ හමුදා පෙළපාලිය නිරීක්ෂණය සඳහා එක්විය.

නිල පිළිගැනීමේ උත්සවයෙන් අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක්-වෝල්ටර් ස්ටයින්මියර්ගේ (Frank-Walter Steinmeier) මහතා අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්විණි. 

එහිදී දෙරට අතර ආර්ථික හා ජාත්‍යන්තර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණ අතර, වෘත්තීය පුහුණු සහ සංචාරක කර්මාන්තය යන ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව වර්ධනය කෙරෙහි විශේෂ අවධානය යොමු විය.

(ජනාධිපති මාධ්‍ය අංශය)

Continue Reading

ඡායාරූප සටහන

කොළඹ සමුද්‍ර මාවත වෙරළ තීරයේ “තක්කඩ” පැළ සිටුවයි (ඡායා)

Published

on

By

ජගත් පරිසර දිනයට සමගාමීව ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය විසින් ක්‍රියාවට නංවන ලද, කොල්ලුපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේ සිට වැල්ලවත්ත දෙසට ඇති කොළඹ සමුද්‍ර මාවත වෙරළ තීරයේ පැළ සිටුවා රැක බලාගැනීම සඳහා වන ව්‍යාපෘතිය අද (05) පෙරවරුවේ ආරම්භ කෙරිණි. 

ව්‍යාපෘතියේ සමාරම්භය සනිටුහන් කරමින්  “තක්කඩ පැළ” 1600 ක් සිටුවීම අද ආරම්භ කෙරුණු අතර එය ඉදිරියේදී පැළ 6000ක් දක්වා වැඩි කිරීමට සැලසුම් කර තිබේ. රාජ්‍ය, පෞද්ගලික හා මහජන සහභාගීත්වයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මකය.

ලවණ පරිසරයට ඉතා හොඳින් ඔරොත්තු දෙන ශාක විශේෂ දෙකකින් යුත් මෙම “තක්කඩ ශාකය” රතු දත්ත ලැයිස්තු වාර්තාවට අනුව වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ශාක විශේෂයකි. අද දින මෙම ස්ථානයේ රෝපණය කෙරුණු Scaevola taccada ශාක විශේෂය අඩි 5 ක් 6 ක් පමණ උසට පඳුරු වශයෙන් වැඩෙන ශාක විශේෂයක් වන බැවින් නාගරික පරිසරයට ගැලපෙන නිර්දේශිත උස ප්‍රමාණයකින් සහ හරිත වර්ණයකින් යුතු ඉතා ආකර්ශනීය ශාකයක් ලෙස නගරයට අලංකාරයක් ලබා දෙනු ඇත.

ශ්‍රී ලංකා යුධ හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය පරිසර හා රථ වාහන කොට්ඨාස, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, මාර්ග සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය, කොළඹ මහ නගර සභාව ඇතුළු රාජ්‍ය ආයතනවල දායකත්වයෙන් ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය සඳහා එල් බී ෆිනෑන්ස් සමාගම සහ හෙම්සඳූ මාර්කටින් වෙළඳ ආයතනය අනුග්‍රාහකත්වය ලබා දී තිබේ. 

කොළඹ නාගරික මන්ත්‍රී ව්‍රායි කලී බල්තසාර්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් (මුල්‍ය හා ආර්ථික කටයුතු) ජී. එම. ආර්. ඩී. අපොන්සු යන මහත්ම මහත්මීන් සහ අනුග්‍රාහක ආයතනවල නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(ජනාධිපති මාධ්‍ය අංශය)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved