Aug 06, 2019

'මුහුදු කැකිරි' බේරන්න වෙර දරණ මැඩගස්කරයේ ගොවීන්

පොදු ජන ව්‍යවහාරයේ “අට්ටයා” ලෙස හෝ “මුහුදු කැකිරි” ලෙස හැඳින්වෙන මුහුදු කූඩැල්ලා යනු පෙරදිග ලෝකයේ බොහෝ රටවල ජනප්‍රිය ආහාරයකි.

ඉතා ප්‍රණීත හා ගුණදායක ආහාරයක් ලෙස සැලකෙන මුහුදු කූඩැල්ලන් සඳහා එම රටවල් විසින් ඉතා ඉහළ මිලක් හිමිකර දී තිබේ. කෙසේවෙතත්, සමුද්‍ර පරිසර පද්ධතියට අත්‍යවශ්‍ය සේවාවක් ඉටුකරන මුහුදු කූඩැල්ලන් ගේ පැවැත්වමට මේ තුවෙන් තර්ජනයක් එල්ල වී තිබේ.

නිරිතදිග මැඩගස්කරයේ වෙරළතීරය හා වනතීරය අතර පිහිටි ටැම්පොලෝව් නම් කුඩා ගම්මානයක් විසින් මෙම ගැටලුවට තිරසාර විසඳුමක් සොයාගෙන ඇත.

ඒ, මැඩගස්කරයේ ස්ථාපිත කෙරුණු පළමු දේශීය මුහුදු කූඩැල්ලන් වගාවකි.

සාමාන්‍යයෙන් දිනකට ඩොලරයටත් වඩා අඩු ආදායමක් ලැබූ මෙම ගම්වාසීන් හට මෙම කර්මාන්තය ආර්ථික වශයෙන් දැඩි සහනයකි. එසේම, අධික ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලීමෙන් සමුද්‍ර පරිසර පද්ධතියට ඇති වන හානිය අඩුකරගන්නා ක්‍රමවේදයක් ඔස්සේ
ඒ සඳහා ඇති අධික ඉල්ලුම ද සමනය කිරීමක් ද මෙමගින් සිදුකරයි. මේ හේතුවෙන් වාණිජ ධීවර කර්මාන්තයේ බිල්ලක් බවට පත්ව ඇති මුහුදු කූඩැල්ලාගේ පැවැත්ම සඳහා එල්ල වී ඇති තර්ජනය යම්තාක් දුරටකට අඩුවේ.

Cucumbers1 670px 19 08 06නොගැඹුරු ජලයේ පිහිටි කොටු වලට මුහුදු කැකිරි පැටවුන් මුදා හරින ගම්වැසියන්. ඡායාරූපය : ටොමී ට්‍රෙන්චාර්ඩ්

මුහුදු කූඩැල්ලා යනු පසැඟිල්ලන් හා ඉකිරියන් යන සමුද්‍ර ජීවීන් ද අයත් වන එකයිනෝඩ(ර්)මේටා (Echinodermata) ලෙස හඳුන්වන අපෘෂ්ඨවංශි කොට්ඨාසයට අයත් ජීවියෙක් වන අතර, මුහුදු කූඩැල්ලන් විශේෂ රැසක් දැකිය හැකිය.

දවස පුරාවට රොන්මඩ තුළ සිය කාලය ගතකරන මෙම සතුන්, ආහාර ගැනීමට රාත්‍රී කාලයේදී පිටතට පැමිණේ. රොන්මඩ හා වැලි අතර අංශු අවසාදිත අතර ආහාර සොයන මෙම සතුන් විසින් සිදුකරන මෙම වැලි පෙරීමේ ක්‍රියාවලිය, මුලුමහත් සමුද්‍ර පද්ධතියේ පැවැත්මට අත්‍යවශ්‍ය සේවයක් වෙයි.

කෙසේවෙතත්, පසුගිය දශක කිහිපය තුළ මුහුදු කූඩැල්ලන් සඳහා ආසියාවේ ඇති අධික ඉල්ලුම හේතුවෙන් ලොවපුරා ජීවත්වන මුහුදු කූඩැල්ලන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් අඩුවී තිබේ.

Cucumbers2 670px 19 08 06මුහුදු කැකිරි කොටු වල දැල් සුරක්ෂිත කරන ගොවීන්. ඡායාරූපය : ටොමී ට්‍රෙන්චාර්ඩ්

ටැම්පොලෝව් හි මුහුදු කැකිරි ගොවිපලවල් යනු මේ දක්වා නොදියුණුව පැවති මැඩගස්කරයේ මෙම ප්‍රදේශය වැඩිදියුණු කිරීමට මෙන්ම පරිසරය සුරැකීමට සඳහා යෝජනා ක්‍රමයක කොටසකි.

සිය ප්‍රදේශයේ මුහුදුකරයේ මසුන් හා බූවල්ලන් ඉතා සීඝ්‍ර ලෙස අඩුවීමත් සමග මෙම ගැටළුවට විසඳුමක් සෙවීම සඳහා වසර 2004 දී ප්‍රාදේශීය වැසියන් එක්වූ අතර, මීට බ්‍රිතාන්‍යයේ රාජ්‍ය නොවන සංවිධානයක් වන 'බ්ලූ වෙන්චර්ස්' හි සහයද හිමිවිය.

ඔවුන් විසින් ප්‍රදේශයේ වෙරළ තීරය ඔස්සේ ඇති ගම්මාන කිහිපයක නියෝජිතයින්ගෙන් සමන්විත සංගමයක් පිහිටුවා ගත් අතර, මෙම සංගමයේ වගකීම වූයේ ධීවර කර්මාන්තය හා පරිසරය කළමනාකරණය කිරීමයි. ඔවුන් විසින් ආරක්ෂිත ප්‍රදේශයක් නම් කර එය වේලොන්ඩ්‍රියාක් ලෙස හැඳින්වනු ලැබීය. වීසෝ බසින් මෙහි අරුත වනුයේ “මුහුද සමඟ ජීවත් වීම” යන්නයි.

මෙම වැඩපිළිවෙළ යටතේ ගම්වාසීන් විසින් ධීවර කර්මාන්තය සඳහා තහනම් කලාප කිහිපයක් පිහිටුවා ඇති අතර, බූවල්ලන් දඩයම් කරන ප්‍රදේශ ද කිහිපවරක්ම තාවකාලිකව වසා දමා ඇත.

Cucumbers3 670px 19 08 06මුහුදු කැකිරි පැටවුන් කොටු වලට මුදාහැරීමට පෙර ඔවුන්ව බෑග් තුළ ජල උෂ්ණත්වයට හුරුකරවනු ලබයි. ගොවීන් විසින් අස්වැනු ලෙස ඔවුන්ව යළි අල්ලාගන්නේ මාස 09ක් පුරාවට ඔවුන් වැඩුනු පසුවයි. ඡායාරූපය : ටොමී ට්‍රෙන්චාර්ඩ්

Cucumbers4 670px 19 08 06කොටුවලට මුදාහැරීමට පෙර මුහුදු කැකිරි පැටවුන් අතලොස්සක් පෙන්වන ගොවියෙක් : ටොමී ට්‍රෙන්චාර්ඩ්

මීට අමතරව ඔවුන් විසින් සිහින් දැල්, ඩයිනමයිට් සහ සයනයිඩ් යොදාගනිමින් මසුන් ඇල්ලීම තහනම් කර ඇති අතර, ආරක්ෂිත ප්‍රදේශවල කඩොලාන කපා දැමීම නැවැත්වා ඇත.

කැස්බෑවන් සහ ඩොල්ෆින් සතුන් ඇතුළු සත්ත්ව විශේෂ කිහිපයක් ඇල්ලීම තහනම් කර ඇති ඔවුන් තවත් සමුද්‍ර සත්ත්ව විශේෂයන් ඇල්ලීම සඳහා සෘතුමය සීමාවන් පනවා තිබේ.

Cucumbers5 670px 19 08 06මුහුදු කැකිරි කොටු වල මුරකරුවෙකු ලෙස කටයුතු කරන 22 හැවිරිදි පෙටේන් සේවියර් ෆරාලහි ඡායාරූපය : ටොමී ට්‍රෙන්චාර්ඩ්

විසිදෙහැවිරිදි පෙටේන් සේවියර් ෆරාලහි,මුහුදු කැකිරි කොටු වල මුරකරුවෙකු ලෙස සේවය කරයි.

පැය 12ක් දිගැති වැඩමුර වල නිරත වන ඔහු, මුහුදු කැකිරි ගොවීන්ගේ වටිනා අස්වැන්න සොරුන්ගෙන් සුරකියි. මුහුදු කූඩැල්ලන් 6,000 ක භාරකරුවෙකු වීම පිළිබඳව ෆරාලහි ගේ සිතේ ඇත්තේ ආඩම්බරයකි.

"මම මගේ රැකියාවට හරිම කැමතියි... මාත් ආදායමක් උපයගන්න ගමන් මාගේ ප්‍රජාවටත් සහය වෙනවා... මේ වනකොට හොරකම් ගොඩක් අඩුවෙලා," යැයි ඔහු පවසයි.

අසවැනු නෙළීම සෑම විටම සිදුවන්නේ රාත්‍රී කාලයේදීය. ඒ, ආහාර ගැනීම සඳහා මෙම සතුන් රාත්‍රියේදී රොන්මඩ හා වැලි තුළින් පිටතට පැමිණි විටදීය.

Cucumbers6 670px 19 08 06විදුලි පන්දම් ආධාරයෙන් අසවැනු නෙළන මුහුදු කැකිරි ගොවීන්. ඡායාරූපය : ටොමී ට්‍රෙන්චාර්ඩ්

කෙසේවෙතත්, අස්වැනු ලෙස අල්ලාගනු ලබන්නේ ග්‍රෑම් 400 ට වඩා බරින් යුත් මුහුදු කූඩැල්ලන් පමණි. ඊට බර අඩු සතුන් යළිත් මුහුදට දමනු ලබයි.

Cucumbers7 670px 19 08 06රාත්‍රී කාලයේදී අල්ලාගත් මුහුදු කැකිරි කිරාබලන කාන්තාවක් ඡායාරූපය : ටොමී ට්‍රෙන්චාර්ඩ්

Cucumbers8 670px 19 08 06බර කිරා බැලීමට නියමිත මුහුදු කූඩැල්ලන් : ටොමී ට්‍රෙන්චාර්ඩ්

විසිහත් හැවිරිදි විනික් ඔඩෙට් යනු අස්වැන්න නෙළීම සඳහා මෙලෙස රාත්‍රියේදී නොගැඹුරු සයුරු ජලය හරහා ගමන් කරන ගොවියෙකි. අතීතයේ බූවල්ලන් දඩයම්කළ විනික් මෙම ක්ෂේත්‍රයට එක්වී ඇත්තේ වසර 2010දී මෙම ව්‍යාපෘතිය දියත් කිරීමත් සමගය.

"මාළු, බූවල්ලො අල්ලනවට වැඩිය මේ වැඩේ ලේසියි. මිල ගැනත් මං ඉතාම සතුටුයි...අපට දැන් වැඩිපුර දේවල් ගන්න පුළුවන්. මං ගෙදරට බඩු ගොඩක් අරන් තියෙනවා... පුටු, පිඟන්, උයන පිහන බඩු වගේ ගොඩක් දේවල්," ඔහු පවසයි.

(බීබීසී ලෝක සේවය ඇසුරෙන් / ඡායාරූප : ටොමී ට්‍රෙන්චාර්ඩ්)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top