Jan 26, 2021

72 වැනි ඉන්දියානු ජනරජ දිනය කොළඹදී සමරයි

මහ කොමසාරිස් කාර්යාලය 2021 ජනවාරි 26 වන දින ඉන්දීය මහ කොමසාරිස්තුමාගේ නිල නිවස වන කොළඹ, ඉන්දියා හවුස් හිදි 72 වන ඉන්දීය ජනරජ දිනය සමරන ලදී. ලොව විශාලතම ලිඛිත ව්‍යවස්ථාව වන ඉන්දීය ව්‍යවස්ථාව බලාත්මක කෙරුණේ 1950 වර්ෂයේ ජනවාරි 26 වන දින ය.

ඉන්දීය මහ කොමසාරිස්වරයා විසින් ජාතික ධජය එසවීමෙන් අනතුරුව ආරක්ෂක අංශ උත්තමාචාරයන් නිරීක්ෂණය කළේය. ශ්‍රී ලංකා නාවික හමුදා වාදක කණ්ඩායම මෙහිදී සුමිහිරි ඉන්දීය සංගීත කණ්ඩ ද්විත්වයක් වාදනය කළේය. ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේ ගුරු භවතුන් සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් විචිත්‍රවත් නර්තනාංග ත්‍රිත්වයක් ඉදිරිපත් කෙරිණ. ඉන්දීය මාතාවට උපහාරයක් පිණිස ඉදිරිපත් කරන ලද නර්තානාංගයකට අමතරව කථක් සහ රාජස්ථානී ජන නර්තනයකින් ද උත්සවය අලංකාරවත් විණ. ශ්‍රී ලංකාවේ වෙසෙන ඉන්දීය ජාතික දරු දැරියන්ගේ නිර්මාණාත්මක ඉදිරිපත් කිරීම් අන්තර්ජාලය ඔස්සේ ඉදිරිපත් කෙරිණ.

නව ඉන්දු - ශ්‍රී ලංකා මිත්‍රත්ව ලාංඡනයක් ද මෙම උත්සවයේ දී එළිදැක්විණ. එම නව ලාංඡනය ශ්‍රී ලංකාව පුරා වෙසෙන පාසල් දරු දැරියන් අතර පැවති තරඟයකින් තෝරා ගන්නා ලදී. නව ලාංඡනය තුළින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සංවර්ධන සහයෝගීතාවය සංකේතවත් කෙරෙන අතර එය ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් සියලු නිල කටයුතු සඳහා යොදා ගැනෙනු ඇත.

මෙම උත්සවය කොවිඩ්-19 සෞඛ්‍ය මාර්ගෝපදේශයන් දැඩිව අනුගමනය කරමින් පැවති අතර ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ සාමාජිකයන් පමණක් ඒ සඳහා සහභාගී විය. මහනුවර සහකාර මහ කොමසාරිස් කාර්යාලය, යාපනය කොන්සියුලර් ජෙනරාල් කාර්යාලය සහ හම්බන්තොට කොන්සියුලර් ජෙනරාල් කාර්යාලය විසින් ද මෙවැනි උත්සව සංවිධානය කර තිබිණ.

72 Republic Day India 0172 Republic Day India 0172 Republic Day India 0172 Republic Day India 0172 Republic Day India 01

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top