මෙවර හෝලි උත්සවය එක්තරා පිරිසකට සුවිශේෂී විය. ඒ, ඔවුන්ට සාමාන්‍ය ඉන්දීය සමාජ ක්‍රමය විසින් වර්ණ, සතුට, ආදරය, විනෝදය තහනම් කර තිබීම හේතුවෙනි. මෙම පිරිස වැන්දඹුවන් ය.
තාක්ෂණය අතින් මිනිස් සමාජය කෙතරම් ඉදිරියට පැමිණයද, ඉන්දියාවේ බොහෝ ප්‍රදේශ වල වැන්දඹුවන් තවමත් සැලකෙන්නේ සිය සැමියා ගේ මරණය වෙනුවෙන් දිවි ඇති තෙක් දොම්නසින් පසුවිය යුතු, දැකීමට පවා අසුභ ලකුණක් ලෙසයි. ජීවිතයේ රසවත් බව හා ලස්සන අත්විඳීම තහනම් ඔවුන් හට උරුම එකම දෑ සුදු වස්ත්‍ර හා දුක පමණි.
සමාජයෙන් කොන් වී මෙවැනි ජීවිත ගතකරන වැන්දඹුවන් ගේ ජීවිත වලට සතුට, පැහැය යළි ගෙන ඒමට එක් සංවිධානයක් මෙවර සමත් විය. උතුරු ඉන්දියාවේ ව්රින්ද්වාන් ප්‍රදේශයේ වැන්දඹුවන් හට සෙවන ලබාදෙන රජයේ නොවන සංවිධානයක් වන සුලාභ් ඉන්ටර්නැෂනල් නම් සංවිධානය විසින් මේ වසරේදී වැන්දඹුවන් පිරිසක් වෙනුවෙන් හෝලි උත්සවයක් සංවිධානය කර තිබුණි.
මෙම වැන්දඹුවන්ගේ සුදු රෙදිපිළි වලට පමණක් නොව අඳුරුව ගොස් තිබූ ඔවුන් ගේ ජීවිතයටම වර්ණ ගැල්වුනු මෙම උත්සවයේ අවස්ථා කිහිපයක් විදෙස් මාධ්‍යවේදීන් ගේ කැමරා කාච වල සටහන් වූයේ මෙසේය.
(ඡායා : qz.com)
