Connect with us

ඡායාරූප සටහන

76 වන ඉන්දීය ජනරජ දිනය කොළඹදී සැමරේ (ඡායා)

Published

on

කොළඹ, ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් අද (26) කොළඹ දී 76 වන ඉන්දීය ජනරජ දිනය සමරන ලදී. 

ජනරජ දිනය නිමිත්තෙන් ඉන්දීය මහ කොමසාරිස්තුමාගේ නිල නිවස වන ඉන්දියා හවුස් හිදි පැවති සැමරුම් උළෙලේදී වැඩ බලන මහ කොමසාරිස් වෛද්‍ය සත්‍යාංජල් පාණ්ඩේ මහතා විසින් ඉන්දීය ධජය ඔසවා හමුදා උත්තමාචාර නිරීක්ෂණය කළේය. මෙහිදී වැඩ බලන මහ කොමසාරිස්වරයා ඉන්දීය ජනාධිපතිතුමියගේ ජනරජ දින පණිවිඩයේ උපුටාගැනීම් ද ඉදිරිපත් කරන ලදී. 

ඉන්දියාවේ පොහොසත් විවිධත්වය නර්තනාංග සහ සංගීත ඉදිරිපත් කිරීම් සමඟින් සමරමින් ශ්‍රී ලංකා නාවික හමුදා වාද්‍ය වෘන්දය විසින් ගීත ඉදිරිපත් කළ අතර මහ කොමසාරිස් කාර්යාලයේ සංස්කෘතික අංශය වන ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය විසින් සංවිධානය කළ සංස්කෘතික වැඩසටහනක් ද පැවැත්විණ. ICA විසින් සංවිධානය කළ දේශානුරාග ගී ඉදිරිපත් කිරීමක් ‘විවිධ ප්‍රාන්ත, එකම ඉන්දීය හැඟීම’ යන තේමාව යටතේ ඉන්දීය ප්‍රජාවේ දරුවන් එකට එක් කළේය. ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේ සිසු සිසුවියන් විසින් ‘වන්දේ මාතරම්’ ගීතය සඳහා මනහර රංගනයක් ඉදිරිපත් කරන ලදී. මෙම උත්සවය සඳහා ඉන්දීය ප්‍රජාවේ සාමාජිකයන් සිය ගණනක් සහභාගී වූහ. 

අද උදෑසන වැඩ බලන මහ කොමසාරිස්වරයා හා ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීහු ඉන්දීය සාම සාධක හමුදා ස්මාරකය අභියස දී ශ්‍රී ලංකාවේදී දිවිපිදූ ඉන්දීය සාම සාධක හමුදා විරුවන් ස‍ඳහා උපහාර දැක්වීය. 

ඉන්දීය ජනරජ දිනය වෙනුවෙන් අද සන්ධ්‍යාවේ ඉන්දියා හවුස් හිදි ප්‍රිය සම්භාෂණයක් පැවැත්වෙනු ඇති අතර, මෙරට විවිධ ක්ෂේත්‍රයන්හි සම්භාවනීය අමුත්තන් රැසක් එම අවස්ථාවට එක්වීමට නියමිතයි. 

මෙවර ජනරජ දිනය ඉන්දීය ව්‍යවස්ථාව අරඹා වසර 75ක් සපිරීම සනිටුහන් කරන අතර, එහි තේමාව වන්නේ “ස්වර්ණිම් භාරත් – විරාසත් ඕර් විකාස්” යන්නයි. ඉන්දියාවේ උරුමය සහ සංස්කෘතික සාරධර්ම ආරක්ෂා කර ගනිමින් නවීකරණය සහ සංවර්ධනය වීමට තරුණ ඉන්දියාවේ අධිෂ්ඨානය මෙම තේමාව තුළින් මනාව පිළිඹිබු වේ. 

හම්බන්තොට සහ යාපනය ඉන්දීය කොන්සියුලර් ජෙනරාල් කාර්යාල සහ මහනුවර සහකාර ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ද 76 වන නිදහස් දිනය නිමිත්තෙන් විශේෂ උත්සව සංවිධානය කර තිබුණි. 

(ඡායා : ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය, කොළඹ)

ඡායාරූප සටහන

ඩිජිටල්කරණය රට අලුත් තලයකට ඔසවා තබනු නියතයි

Published

on

By

ඩිජිටල් සමාජයක් කරා රට ගෙනයාමේ වැඩපිළිවෙළ හරහා ප්‍රධාන ඩිජිටල් පහසුකම් තුනක් හඳුන්වාදීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී අද (07) ආරම්භ විය.

ඒ අනුව රාජ්‍ය ඩිජිටල්කරණ ගෙවීම් වේදීකාවක් ඇති කිරීම (GovPay), ජනාධිපති අරමුදල  ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටම දක්වා ගෙනයාම, තනාපති කාර්යාලවලින් උපත්, විවාහ හා මරණ (eBMD) සහතික ලබා ගැනීම මෙම  මෘදුකාංග හරහා සිදු කළ හැකිය.

ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය, ICTA ආයතනය හා ලංකා පේ (Lanka Pay) ඒකාබද්ධව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන අතර මහ බැංකුව මගින් ගෙවීම් වේදීකාව සුරක්ෂිත කිරීමටත් ජනතාවගේ විශ්වාසය ඇති කිරීමටත්  කටයුතු කරයි.

“Govpay ” වේදිකාව හරහා පළමු අදියර ලෙස රාජ්‍ය ආයතන 16ක සියලු සේවාවන්ට අදාළ ගෙවීම් කටයුතු සිදු කළ හැකි අතර, ලබන අප්‍රේල් මාසයේ සිට තවත් රාජ්‍ය ආයතන 30ක් මෙම වේදිකාව භාවිතා කිරීමට සැලසුම් කර තිබේ. ඉදිරියේදී සියලුම රාජ්‍ය ආයතන මේ හා ඒකාබද්ධ කිරීමට බලපොරොත්තු වන අතර දැනටමත් රාජ්‍ය හා පෞද්ගලික බැංකු 12ක්ද මේ හා එක්වී සිටී.

මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ තාක්ෂණය හා විද්‍යාව සමඟ ඇතිවන දියුණුව නිසා ජනතාවගේ ජීවිත පහසු කරවන බවත්, එමගින් කාර්යක්ෂම, ගුණාත්මක හා නාස්තිය අවම සේවාවක් ලබාගත හැකි බවත්ය.

ලෝකය අදියරෙන් අදියර පියවරෙන් පියවර ඉදිරියට පැමිණියේ තාක්ෂණය ලබාගත් ජයග්‍රහණ නිසා බව පැවසූ ජනාධිපතිවරයා, විද්‍යාවේ හා තාක්ෂණයේ නව සොයා ගැනීම් මිනිස් ශිෂ්ටාචාරය එක් අදිරයක සිට තවත් තලයකට ඔසවා තැබූ බවත් සඳහන් කළේය.

ජනාධිපති අරමුදලේ සේවා මෙතෙක් කාලයක් ක්‍රියාත්මක  වූයේ  කොළඹ සිට බවත්, නමුත් එහිදී ඈත ගම්මානවල සිටින පුරවැසියාට බොහෝ දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුවූ බව පෙන්වා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද සිට එම ක්‍රමවේදය ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සිදු කිරීමට පියවර ගෙන තිබෙන බව පැවසීය.

මීට බොහෝ කාලයකට පෙර මෙවැනි තීන්දු තීරණ ගත යුතුව තිබූ බවත්, නිශ්චිත මොහොතේ තීන්දු තීරණ නොගැනීම නිසා ජනතාවගේ ජීවිත මෙන්ම  රටේ ආර්ථිකයත් පසුගාමී තැනක පවතින  බවත්, අද ඩිජිටල්කරණය  නිසා නගරය සහ ගම ඒකාබද්ධ වී තිබෙන බවත්, ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කිරීමට මෙන්ම ගමේ ප්‍රශ්න විසඳීමට ඩිජිටල්කරණය ඉතා වැදගත් බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

අප රට පවතින තලයෙන් අලුත් තලයකට ඔසවා තැබිය හැකි එකම ක්ෂේත්‍රය ඩිජිටල්කරණය බවත්, එමගින් ජනතාවගේ අවශ්‍යතාවන් කිසිදු පීඩාවකින් හා රස්තියාදුවකින් තොරව ඉටු කරගත හැකි බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.

යාන්ත්‍රික ජීවන රටාව හේතුවෙන් අපේ රටේ ජනතාවට සංස්කෘතිකමය ජීවිත අහිමි වී ගොස් ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ජනතාවට සංස්කෘතිකමය ජීවිතයක් ඇති කර ගැනීමට ඩිජිටල්කරණය පහසුවක් වනු ඇති බවත්, එමනිසා මෙම වැඩසටහන සාර්ථක කර ගත යුතු බවත්, ඩිජිටල් හැඳුනුම්පත එහි ප්‍රධාන හැරවුම බවත් පැවසීය.

මේ වෙනස්කම් ඉතා වේගයෙන් ඇති කරගත යුතු බවත්, විනිවිදභාවය, කාර්යක්ෂමතාවය, ගම සහ නගරය අතර පවතින දුරස්ථභාවය තුරන් කිරීමට මෙන්ම ඩිජිටල්කරණය අප රට අලුත් තලයකට ඔසවා තබනු ඇති බවත්, ඒ වෙනුවෙන් රජය ඉතා කැපවීමෙන් කටයුතු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

ඩිජිටල්කරණය පිළිබඳව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක,  තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) සභාපති ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා මෙහිදී කියා සිටියේ ශක්තිමත් ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැඟීම සඳහා අවශ්‍ය කුසලතාවලින් 75% ක්
ශ්‍රී ලංකාව සතුව ඇති බවයි. එහෙත්, එහි විභවය සම්පූර්ණයෙන් විවෘත කිරීමට නම්, රට ඉතිරි පරතරය පියවා ගත යුතු අතර ඉදිරි වසර තුන තුළ සම්පූර්ණ කළ යුතු  බවද විජේසූරිය මහතා සදහන් කළේය .

ජනාධිපති අරමුදල  ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මට්ටමට ක්‍රියාත්මක කිරීම මෙහිදී ආරම්භ කළ අතර, එහිදී මාර්ගගත ක්‍රමයට අයදුම්පත්‍ර භාර ගැනීම සංකේතවත්ව සිදු කෙරිණි.

මේ අතර නව ඩිජිටල්කරණ වැඩසටහන යටතේ විදේශගතව සිටින
ශ්‍රී ලාංකිකයන්ට උප්පැන්න, විවාහ සහ මරණ සහතිකවල, සහතික කළ මුල් පිටපත් ඔවුන් සිටින රටවල තානාපති කාර්යාලය මඟින් ලබා ගැනීමට අවකාශය සලසා ඇත.

මෙහි ආරම්භයක් ලෙස දකුණු කොරියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයකුට උප්පැන්න සහතිකයක් නිකුත් කිරීම මාර්ගගත ක්‍රමය ඔස්සේ මෙහිදී සිදු කෙරිණි .

විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ඔවුන් සිටින රටේ තානාපති කාර්යාලය හරහා උප්පැන්න, මරණ සහ විවාහ සහතිකවල සහතික කළ මුල් පිටපත් ලබා ගැනීමට හැකි වීම ඉතා වැදගත් පියවරක් වන අතර, එය ඔවුන්ගේ ජීවිත පහසු කරවීමට බොහෝ ආකාරවලින් බලපායි.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය චන්දන අබයරත්න, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, ඩිජිටල්කරණය පිළිබඳව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක,  තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) සභාපති ආචාර්ය හාන්ස් විජේසූරිය, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්, ජනාධිපති අරමුදලේ ලේකම් රෝෂන් ගමගේ  යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Continue Reading

ඡායාරූප සටහන

77 වන ජාතික නිදහස් දිනය සැමරේ (ඡායා)

Published

on

By

77 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය අද (04) පෙරවරුවේ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දී අභිමානවත් අයුරින් පැවැත්විණි.

‘ජාතික පුනරුදයට පෙළගැසෙමු ’ යන තේමාව යටතේ 77 වන ජාතික නිදහස් දින සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරශ්‍රයේදී අද පැවැත්විණි.

මෙම වසරේ රජය වියදම් අඩු කිරීම සහ වැඩි මහජන සහභාගීත්වයක් සහතික කිරීම අරමුණු කරගත් පියවර කිහිපයක් ප්‍රකාශයට පත් කර තිබුණි.

ඒ අනුව, පසුගිය වසරේ සහභාගී වූ 3,384 ට සාපේක්ෂව ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 1,873 ක් පමණක් නිදහස් දින සැමරුමට සහභාගී වූ අතර එය සොල්දාදුවන් 1,511 කින් අඩුවක් විය.

මෙම වසර සඳහා ත්‍රිවිධ හමුදාවේ සන්නද්ධ වාහන භාවිතා නොකිරීමට ද රජය තීරණය කර තිබුණි.

පසුගිය වසරේ භාවිතා කළ ගුවන් යානා 19 ට වෙනස්ව, මෙම වසරේ ගුවන් හමුදාවට අයත් ගුවන් යානා 03 ක් පමණක් භාවිතා කරන ලදී.

පෙබරවාරි 01 සිට 07 දක්වා රාජ්‍ය ආයතනවල ජාතික ධජය එසවීමට නියමිත අතර, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය ආයතනවල විදුලි ආලෝක සැරසිලි ඉවත් කිරීමට තීරණය කර තිබුණි.

මේ අතර මෙරට 77 වැනි නිදහස් දිනය වෙනුවෙන් විදේශ රටවල් රැසකින් සහ ගෝලීය නායකයින් කිහිප දෙනෙකු සුබපැතුම් පිරිනමා තිබේ.

විදේශ කටයුතු අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ, එමගින් ශ්‍රී ලංකාව සමග පවත්නා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සහ සහයෝගීතාව යළි තහවුරු කර ඇති බවය.

ශ්‍රී ලංකාවේ දිගුකාලීන සගයෙකු වන එක්සත් ජනපදයේ සුබපැතුම එරට රාජ්‍ය ලේකම් මා(ර්)කෝ රූබියෝ විසින් එක්කර තිබුණි.

නිල ප්‍රකාශයක් මගින් රාජ්‍ය ලේකම්වරයා අවධාරණය කළේ, ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් සහ ශක්තිමත් මානව සම්බන්ධතා මත ගොඩනැගුණු දෙරට අතර පවත්නා හවුල්කාරිත්වය දිගුකල් පවතිනු ඇති බවය.

තවදුරටත් එහි වෙළෙඳාම, ආයෝජන සහ ආරක්ෂක සහයෝගීතාව පුළුල් කිරීම පිළිබඳවත් සුභවාදී අදහස් පළ කර ඇත.

මේ අතර ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා ද නිදහස් දින සුබපැතුම් පණිවුඩයක් නිකුත් කර තිබුණි.

එහිදී, දෙරට අතර බහුවිධ හවුල්කාරිත්වය තවදුරටත් දීර්ඝ කිරීමට ඉන්දියාවේ උනන්දුව ඔහු යළිත් තහවුරු කළේය.

තවද, චීන ජනාපති, චීන අගමැති සහ චීනයේ විදේශ කටයුතු අමාත්‍ය වැන්ග් යී මහතාගේ නිදහස් දින පණිවුඩය ද විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා වෙත පිරිනමා තිබුණි.

ඒ, ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලය හරහා නිල පණිවුඩයක් යොමු කරමිනි.

ද්විපාර්ශ්වික සබඳතා සහ විවිධ අංශ හරහා සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා චීනයේ අඛණ්ඩ කැපවීම මෙම පණිවුඩය මගින් අවධාරණය කර ඇත.

මීට අමතරව, ප්‍රංශය, බෙල්ජියම සහ කියුබාව ඇතුළු රටවල් කිහිපයක් ද ශ්‍රී ලංකාවට සුබ පැතුම් පළ කර ඇති අතර, එය ශ්‍රී ලංකාව ලොව පුරා දිනා ඇති ශක්තිමත් සහ දිගුකාලීන රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ඉන් පිළිබිඹු කරයි.

ශ්‍රී ලංකා රජය මෙම සුබපැතුම් සඳහා අවංක ප්‍රසාදය පළ කරන අතර සාමය සහ අන්‍යොන්‍ය සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමට ජාත්‍යන්තර ප්‍රජාව සමග අර්ථවත් හවුල්කාරිත්වයන් මුලපිරීමට කැපවී සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

Continue Reading

ඡායාරූප සටහන

චීන අලුත් අවුරුද්දේ ආගමික කටයුතු වලට ගංගාරාමේ ඉඩක් (ඡායා)

Published

on

By

 මේ දිනවල චීන අලුත් අවුරුද්ද වෙනුවෙන් කොළඹ ගංගාරාම විහාරස්ථානයේ විශේෂ පියවර ගෙන ඇත.

ඒ අනුව, චීන චාරිත්‍රානුකූලව ආගමික කටයුතු වල නිරත වී ආශිර්වාද ලබා ගැනීමට මෙරට සිටින චීන ජාතිකයන් හට අවශ්‍ය කටයුතු සලසා තිබේ.

තෙල්, මල්, පහන්, ඉටිපන්දම් හා නැවුම් පලතුරු බුදුන් වහන්සේට පූජා කිරීමටත්, භික්ෂූන් වහන්සේලාට වියළි සලාක හා දානය පූජා කළ හැකි බවත් ගංගාරාම විහාරස්ථානය දන්වා සිටියි.

ජනවාරි 28 වන දින සිට පෙබරවාරි 12 වන දින දක්වා යොදා ඇති මෙම විශේෂ පියවර යටතේ පෙ.ව. 06.30 – පෙ.ව. 11.00 දක්වාද, ප.ව. 03.30 – ප.ව. 10.30 දක්වාද චීන ජාතිකයන් හට ආගමික කටයුතු වල නිරත වී ආශිර්වාද ලබා ගැනීමට හැකිවේ.

(ඡායා: ශානිකා ජයසේකර)

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved