Sathosa

Dec 25, 2017

පියවරු නැති දූවරුන්ට පියෙක් වූ මහේෂ් (ඡායා)

සමූහ විවාහ ලොව විවිධ ස්ථාන වල පැවැත්වෙන්නේ දැවැන්ත මාධ්‍ය ප්‍රචාරයද මාධ්‍යයේය. පසුගිය ඉරිදා දින ඉන්දියාවේද ගුජරාටි ප්‍රාන්තයේද එවැනි සමූහ විවාහ උත්සවයක් සිදුවිය.

කෙසේවෙතත්, මෙම උත්සවය ප්‍රසිද්ධියට පත්වීම සඳහා සාමාන්‍ය විවාහයක සුන්දරත්වයෙන් ඔබ්බට ගිය කරුණු දෙකක් ද හේතු විය.

එනම්, මෙහිදී විවාහ වූ සියළුම මනාලියන්, පිය සෙනෙහස අහිමි වූවන් වීමත් ඔවුන්ට සිය මංගල දිනයේදී පිතෘ පාර්ශවයෙන් සිදුකරන සියළු දෑ ඉටුකිරීමට එක් පුද්ගලයෙකු ඉදිරිපත් වීමත් ය.

මහේෂ් සවානි නම් ඔහු දියමන්ති වෙළෙන්දෙකි.

මේ ආකාරයෙන් විවාහ කර දීමට ලැබීම දෙවියන් ගේ ආශිර්වාදයක් බවත් විවාහ වීමට ආර්ථික සවියක් නොමැති කාන්තාවන් හට විවාහ වීමට අතහිත දීම සමාජ සත්කාරයක් බවත් තමා විශ්වාස කරන බව මහේෂ් පවසයි. ‘මා, ඔවුන් ගේ පියවරුන් ගේ වගකීම ගත්තා’, යැයි ඔහු ‘ඉන්ඩියන් එක්ස්ප්‍රස්’ පුවත් සේවයට පවසා තිබේ.

පියවරුන් නොමැති තරුණියන් හට සමූහ විවාහ උත්සව පැවැත්වීම ඔහු 2012 සිට වාර්ෂිකව සිදුකරයි. වසර 2008 දී තමා යටතේ රැකියාවක් සිදුකළ සේවකයෙකු ඔහු ගේ දියණියගේ විවාහයට දින කිහිපයකට පෙර මියයාමෙන් අනතුරුව මෙම ව්‍යාපෘතිය ආරම්භ කළ බව ඔහු සඳහන් කරයි.

බොහෝ ඉන්දීය විවාහ මංගල්‍ය වලදී දෑවැදි ආදිය මනාලියගේ පාර්ශවයෙන් දරණු ලැබූ වියදම් සාමාන්‍යයෙන් දරණු ලබන්නේ මනාලියගේ පියා විසිනි. මේ අයුරින් තරුණියකගේ පියා දුප්පත් වුවහොත් හෝ මියගොස් තිබුණහොත් ඇයට විවාහ ජීවිතයකට ඇතුළත් වීමේ ඉඩකඩ ඇහිරී යයි.

මේ වසරේ දී මෙම උත්සවයේදී මනාල යුවල් 251ක් විවාහ දිවියට ඇතුළු වූ අතර, මේ අතරට මුස්ලිම් ජෝඩු 5ක්, ක්‍රිස්තියානු ජෝඩුවක් හා HIV රෝගයට ගොදුරුව සිටින කාන්තාවන් දෙදෙනෙකු ද ඇතුළත් විය. හින්දු විවාහ චාරිත්‍ර වල මනාලියගේ පියා විසින් සිදුකරන ‘කන්‍යාදාන්’ (විවාහ චාරිත්‍රානුකූලව මනාලිය, මනාලයාට භාරදීම) චාරිත්‍රය ඔහු ගේ දෑතින් සිදුකර ඇත. මේ වසරේ උත්සවය පැවැත්වීමට එරට තවත් ව්‍යාපාරිකයෙකු වන සංජේ මොවාලියා ද සහය ලබාදී තිබේ.

පසුගිය වසරවලදී මහේෂ් විසින් විවාහපත් වූ මනාලියන් හට බිරිඳක් ලෙස නව දිවිය ඇරඹීමට අවශ්‍ය ත්‍යාග ලබාදී ඇති අතර, මේ වසරේදී ද එසේම සිදුකිරීමට කටයුතු කරනු ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.

මේ වසරේ උත්සවය සඳහා ඔහු දරා ඇති වියදම පිළිබඳව හෙළි කර නැති නමුත්, පිය සෙනෙහසද අහිමිව සිටියදී, කුල-මල, දෑවැදි සොයන ඉන්දීය සමාජයෙන් බැට කෑ තරුණියන් සියගණනක්, මෙම මිනිසා ගේ මනුෂ්‍යත්වය හේතුවෙන් එම පීඩන වලින් මිදී ඉතා සතුටින් විවාහ දිවියට ඇතුළත් වූ මෙම අපූරු උත්සවයේ ඡායාරූප කිහිපයකි මේ.

(ඡායා : ඩේලිමේල්)

weddingindia

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top